කොරෝනා වසංගතය යළිත් හිස ඔසවන අවධියක දෙමාපියන් විසින් සිය දරුවන් තුළ කොවිඩ් පරිසරයකට මුහුණදීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසිකත්වයක් ඇති කළ යුතුයි.

උදාහරණ වශයෙන් එක්රැස්වීම් සීමා කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම මෙන්ම කොවිඩ් වෛරසය පිළිබඳවත් එය ව්‍යාප්ත වන ආකාරයත් දරුවාට අවබෝධ කරදී තමා විසින් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු බවට දරුවාට උපදෙස් දිය යුතු යි.

එසේ නම් අද අප සූදානම් වන්නේ කොවිඩ් වසංගතය සමාජය තුල පැතිරිමෙන් තිබෙන කාලය තුල පාසල් යන ඔබේ දරුවාගේ ආරක්ෂාව සදහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පිලීබද අවබෝධයක් ලබා දීමටයි.

දරුවාගේ හැසිරීම

කොවිඩ් වටපිටාවක් සමඟ කටයුතු කිරීමේදී පාසලේදී දරුවන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ දරුවාට පහදා දීම.

පාසලේදී,

මුව ආවරණ පැළඳීම.
නිතර නිතර අත් පිරිසුදු කිරීම (සබන් හෝ විෂබීජ නාශක)
මුව ආවරණ පැළඳීමෙන් පසු එය නැවත නැවත ස්පර්ශ නොකිරීම.
ආහාර ගන්නා විට මුව ආවරණය ඉවත් කිරීමේදී එය වෙනත් බෑග් එක අසුරා තිබීම.
පාසල් උපකරණ (පෑන්,පැන්සල්, මකන) වැනි දෑ හුවමාරු නොකිරීම.
ආහාර හුවමාරු නොකිරීම
මුව ආවරණයක් ගලවා ඉවත් කරන විට නියමිත කසල බඳුනට දැමීම.
මුව ආවරණ තැන් තැන් වල ගලවා නොදැමීම.
නිතර නිතර දුරස්ථභාවය පවත්වා ගැනීම.
කණ්ඩායම් ලෙස එක්රැස් නොවිය යුතු බවට දරුවාට පහදා දීම.
විශේෂයෙන්ම යම් අසනීප තත්වයක් ඇතිවුවහොත් හැකි ඉක්මනින් දෙමාපියන්ට දන්වන ලෙසට දරුවාට උපදෙස් දීම.
යන කරුණු කාරණා පිළිබඳව පින්තුර මගින් හෝ පාඩම් මගින් දරුවාට නිසි අවබෝධයක් ලබා දීම ඉතා වැදගත්.

එලෙස ක්‍රියා කිරීමේදී දරුවා තුළ පැන නැගෙන ගැටළු පිළිබදව දෙමවුපියන්ව හා ගුරුවරුන්ව දැනුවත් කිරීම අනිවාර්ය බවත් දරුවාට පහදා දිය යුතුයි.

විශේෂයෙන්ම හදිසි අසනීප තත්ත්වයක් ඇති වුවහොත් හැකි වහාම දෙමව්පියන් දැනුවත් කරන ලෙස දරුවාට උපදෙස් දිය යුතුයි.

දරුවාට ඇහුම්කන් දීම

දරුවා පාසල නිමවී ගෙදර ආ පසු දරුවා පාසල තුළ හැසිරුන ආකාරය පිළිබඳව දරුවා ගෙන් විමසිය යුතුයි. එමෙන්ම දරුවා පවසන දෑ පිළිබඳ දෙමාපියන් හා ගුරුවරුන් වශයෙන් ඔබ හොඳ අවධානයෙන් සිටිය යුතු යි.

දරුවාට යහපත් සෞඛ්‍ය පුරුදු

කොවිඩ් වාතාවරණයට අනුව දරුවා අනුවර්තනය විය යුතු ආකාරය පිළිබඳව මනා පුහුණුවක් දරුවාට ලබා දිය යුතුයි.

විශේෂයෙන්ම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමටත්
අවශ්‍ය කුසලතා ආකල්ප සංවර්ධනය කිරීම පිළිබඳ දරුවාට අවබෝධයක් ලබාදිය යුතුයි.

දරුවාගේ ආහාර රටාව

මීට පෙර අවස්ථාවන්හිදී දරුවන්ට ලබාදුන් ක්ෂණික ආහාරවලින් දරුවාව ඉවත් කොට කොවිඩ් වෛරසයට එරෙහිව ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ධාන්‍ය, පලා වැනි පෝෂදායි ආහාර සඳහා දරුවන් යොමු කළ යුතුයි.

එමෙන්ම දිනපතා ජලය පානය කිරීමට දරුවාට නිරන්තරව උපදෙස් දිය යුතුයි.

එහිදී සමහර දරුවන් වැසිකිළි යාමට ඇති බිය හෝ අකමැත්ත නිසා ජලය වැඩිපුර පානය නොකරන බැවින් එවැනි අවස්ථාවන්හිදී ගුරුවරුන් හෝ දෙමව්පියන් විසින් දරුවාට ජලය පානය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව අවබෝධ කර දී දරුවාව එය සඳහා යොමු කළ යුතුයි.

කොරෝනා වසංගතයේදි පිරිසුදු බව අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් වැසිකිළි යාමේදී වැසිකිලිය පිරිසිදු කිරීමත් දෑත් හොඳින් පිරිසිදු කරගැනීමත් අනිවාර්ය බව දරුවන්ට පහදා දිය යුතුයි.

Digital තිරවලට අනවශ්‍ය ලෙස ඇබ්බැහි වීම වැළැක්වීම .

කොවිඩ් කාලය තුළ ඔන්ලයින් මගින් අධ්‍යාපන කටයුතු සිදු කළද පාසල් ආරම්භ වීමෙන් පසු ඔන්ලයින් අධ්‍යයන කටයුතු සඳහා යොදාගත් පරිගණක , ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ් වැනි උපකරණ වලින් දරුවාව ක්‍රමක්‍රමයෙන් ඈත් කළ යුතුයි. මන්ද එම උපකරණ වලට දරුවන් ඇබ්බැහි විය හැකි බැවිනි.

කොවිඩ් වසංගතය පසෙකලා යහපත් මානසිකවත්වයෙන් යුක්තව අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ජීවිතය ජය ගැනීමට ක්‍රම ඇති බව දරුවන්ට ඇඟ වීමත් සමාජ තුළ වගකීම් දරන පුරවැසියකු ලෙස බිහිවීමටත් මෙම උපදෙස් මනා පිටුවහලක් වනවා නිසැකයි.

ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී
පුෂ්පා රම්‍යානි ද සොයිසා

සැකසුම – බිනාලි ජයනි රාජපක්ෂ

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්