ඓතිහාසික කුරුන්දි විහාර චෛත්‍යයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව බ්‍රහස්පතින්දා (14) විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතා මෙම නියෝගය කළ බව ගල්ගමුවේ ශාන්තබෝධි හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ආරක්‍ෂක අංශවල සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද සංරක්ෂණ ව්‍යාපෘතිය අවසන් කර සර්වඥ ධාතූන් වහන්සේ චෛත්‍යයේ තැන්පත් කිරීම ජුනි මස 12 වැනිදා සිදුකිරීමට නියමිතව තිබුණද දෙමළ දේශපාලනඥයන්ගේ විරෝධතා හේතුවෙන් එය අත්හිටුවා ඇති බව උන්වහන්සේ සඳහන් කරයි.

කුරුන්දි විහාරයට එරෙහි නඩුව විරෝධතාකරුවන් විසින් ගොනු කරන ලද මෝසමක් මගින් විභාගයට ගත් බවත්, සියලු ඉදිකිරීම් ඉවත් කරන ලෙසත්, ඉදිරි ඉදිකිරීම් කටයුතුවලින් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට පටහැනිව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ශාන්තබෝධි හිමියෝ පවසයි.

කුරුන්දි විහාර චෛත්‍යය ක්‍රිස්තු වර්ෂ 103 දී ඛල්ලටනාග රජු විසින් ඉදිකරන ලද අතර ක්‍රිස්තු වර්ෂ 571 දී අග්බෝ රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බවත් එය උතුරේ විශාලතම පුරාවිද්‍යාත්මක ස්ථානය බවත් උන්වහන්සේ කියා සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්