මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධ නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09දෙනා පෙර ඇපමත මුදාහරින ලෙස අධිකරණය අද (17) නියෝග කළේය.

එමෙන්ම අද දින අධිකරණය හමුවේ සාක්ෂි දුන් පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සුමතිපාල සුරේෂ් නමැති හිටපු LTTE සාමාජිකයා අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කිරීම හේතුවෙන් ලබන 23වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැණුනි.

ඒ අනුව මෙම සාක්ෂිකරුට කිසියම් බලපෑමක් එල්ලවී තිබේද යන්න පිළිබඳ විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝගයක් කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් අනතුරුව සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු LTTE සාමාජිකයෙකු වන සුමතිපාල සුරේෂ් නමැත්තාගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබුණි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සාක්ෂිකරු ඉකුත් නඩු දිනයේ දී ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශයට පරස්පර ආකාරයෙන් සාක්ෂි ලබාදුන් බව සඳහන් කළේය.

එබැවින් අදාළ සාක්ෂිකරු පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවකු වශයෙන් නම්කොට ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවසර දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණයේ අවසරය මත ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා විසින් සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරනු ලැබීය.

එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුමතිපාල සුරේෂ් නමැති සාක්ෂිකරු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් විසින් 2015 වසරේ හෝමාගම මහෙස්ත්‍රාත්වරයා හමුවේ ලබාදුන් ප්‍රකාශය අසත්‍ය බව කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත තමන් එවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව ඔහු පැවසීය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා තමන් කිසිදාක නොහඳුනන බවත් ඔහු හඳුනන බවට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රේමතිලක නමැති නිලධාරියා විසින් ලියාදුන් පිටපතකට අනුව බවත් සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න ඇසීම අද දින සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන 23 වනදා දක්වා කල්තබන බව විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සාක්ෂිකරු අධිකරණයට අපහාසාත්මක වන ආකාරයට අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටින බව චෝදනා කළේය.

තමන් විසින් හෝමාගම මහෙස්ත්‍රාත්වරයා හමුවේ ස්වෙච්ඡාවෙන් දුන් ප්‍රකාශය අසත්‍යයක් බවට ඔහු මේ වනවිට අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කිසියම් බලපෑමක් හේතුවෙන් ඔහු මේ ආකාරයෙන් තමන්ගේ ස්ථාවරය වෙනස් කොට ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා, මෙම සාක්ෂිකරුට සාක්ෂි දිය යුතු ආකාරය කිසියම් පිරිසක් විසින් පුහුණු කරමින් සිටින බවටත් චෝදනා කළේය.

මෙම සාක්ෂිකරු නිදැල්ලේ සමාජගතව සිටියහොත් ඉදිරියේ දී සාක්ෂි දිය යුතු ආකාරය වඩ වඩාත් හොඳින් කිසියම් පිරිසක් විසින් ඔහුට පුහුණු කරනු ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තත්ත්වය වැළැක්වීම සඳහා සාක්ෂිකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීළඟ නඩු දිනය තෙක් අදාළ සාක්ෂිකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බව නියෝග කළේය.

ඊට අමතරව මීට පෙර අවස්ථාවකදී මෙම නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදුන් යුද හමුදා සැරයන් රන්බණ්ඩා නමැති සාක්ෂිකරුට මීළඟ නඩු දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කර ඇත.

එම සාක්ෂිකරුට එරෙහිව අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්