උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කර සිටියේ.

විශේෂයෙන්ම ඉසෙඩ් ක්‍රමය අනුව ලකුණු දීමේ දී මේ ප්‍රශ්නය උද්ගත වන බවයි හිටපු අගමැතිවරයා සඳහන් කර සිටියේ.

විදුලි කප්පාදුව විවිධ ප්‍රදේශ වලට නොයෙක් වෙලාවට කිරීම නිසා මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන බවත් මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන තුරු වත් නතර කර ගත හැකි දැයි සලකා බලන ලෙසයි හිටපු අගමැතිවරයා කියා සිටියේ.

මීට පිළිතුරු දෙමින් සභා නායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූයේ උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ පෙරේදා (22)රාත්‍රියේදී සාකච්ඡා කළ බවයි. හැකි තරම් දුරට මේ ප්‍රශ්නය වෙනස් කරන්නට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ. මේ ප්‍රශ්නය මතු කිරීම ගැන හිටපු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්