රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරන්නේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව අප්‍රේල් මාසය සිට මේ දකවා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳුනු රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇත.

“අප්‍රේල් මාසයේ සිට මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා. අප්‍රේල් මාසයේ දී රෝගීන් 11ක් රෝහල්ගත වෙලා තියෙනවා. මැයි මාසයේ දී ඒක 6ක් බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් ජූනි මාසයේ දී 103ක් වාර්තා වෙලා තියෙනවා. වැඩිපුර ඉන්නේ කාන්තා පක්ෂයේ අය. මේ වනවිට 75ක් ඉන්නවා. පිරිමි 33ක් ඉන්නවා. දරුවන් 12ක් පමණ ඉන්නවා. මෙයින් 14ක් මරණයට පත්වෙලා තියෙනවා. මේ 14 දෙනාම අවුරුදු 75ට වැඩි කාන්තාවන් 11 දෙනෙක් හා පිරිමි 3 දෙනෙක් තමා මරණයට පත්වෙලා තියෙන්නේ. දැනට ඒ රෝගීන්ගේ රුධිර සාම්පල යවලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට. ඒකෙන් හොයාගෙන තියෙනවා මේක ඉන්ෆ්ලුවන්සා රෝගයක් කියලා. මේකට අවශ්‍ය කරන බෙහෙත් වර්ග හා ප්‍රතිජීවක ලබාදෙනවා.”

මේ අතර වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරන්නේ වාර්ෂිකව මෙරටින් මැයි, ජුනි, ජූලි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගන්නා බවය,

“නිරිතදිග මෝසමෙන් පස්සේ හැම අවුරුද්දකම වැඩිවීමක් සිද්ධවෙනවා. ඒ වගේම ඊශානදිග මෝසමෙන් පස්සෙත් එනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මැයි, ජුනි, ජූලි කියන්නේ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය සුළු වශයෙන් වැඩිවෙන මාස තුනක්. ආය දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරිවල යම් වැඩිවීමක් තියෙනවා. මේ සිද්ධවෙන්න එයට සමගාමී දෙයක් තමා.”

කෙසේ නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කරන්නේ වැඩිහිටියන් බහුල වශයෙන් ආසාධනයට පත්වීමට ඇති හැකියාව වැඩි බවය.

“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එකක් දෙකක් වගේ සෙම් පටල නියැදි හම්වෙලා තියෙනවා. කලවානේ තමයි වැඩිපුර සෙම්පටල ඇවිල්ලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ෆ්ලුවන්සා “ඒ” කියලා හඳුනාගෙන තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට හැදුණොත් ඒක උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවක් එහෙම නැත්නම් ඇඟපත වේදනාවක් තියලා දවස් තුන හරකින් සාමාන්‍යයෙන් හොඳවෙනවා. නමුත් විශේෂයෙන් ගැබිනි මව්වරුන් හා වැඩිහිටියන් බහුල වශයෙන් ආසාධනයට පත්වෙනවා. ඒ වගේම කුඩා ළමුන්.”

මෙන්න බලන්න තවත් පුවත්