ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටිනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇති බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

මේ අතර සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇති බවට පෙන්වා දුන් ඇමැතිවරයා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බවද සඳහන් කර සිටිනවා.

එසේ නොකළොත් මෙරට සමාගම් කඩා වැටීමට ලක් වනු ඇති බවයි උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරීය කියා සිටියේ ගෑස් මිල වැඩි කිරීම සඳහා ආණ්ඩුවෙන් අදාල සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බවයි. එහෙත් මේ දක්වා මිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි පාරිභෝගික කටයුතු අධිකාරීයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

ගෑස් සමාගම් පවසන්නේ අලාභයක් නොමැතිව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් කිලෝ ග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි.

මෙන්න බලන්න තවත් පුවත්