බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළ චෝදනා වෙනත් පාර්ශ්වයන් පිට පටවා ඉන් ලිස්සා යාමට ආණ්ඩුවට හා පොලීසියට ඉඩ නොතබන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (23) පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා.

“මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරගන්න කල්ම අපි අරගලයක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුවයි පොලීසියයි කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා. ඒ නිසයි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. මොකද අපිට එතකොට මේ බෝම්බය වෙන කෙනෙක් ගෙනාවද හොයන්න පුළුවන් වෙනවානේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා.

අනිත් එක අර ”මුනි” කියන කෙනා පිට මේක දාලා අතහෝදගන්න පොලිසීය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. එහෙම දේවල් කරන්න අපිට ඉඩදෙන්න බැහැ සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට. ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ. ආණ්ඩුවටවත් පොලීසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාසයි. ඒ නිසා මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරැද්ද හරිගස්සන් ඕනේ. මේ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා.

පොලීසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්නට පෙර පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා. අනිත් එක විතරක් නෙමෙයි අර කොහෙද රෝහල් බෝම්බයත් මේ මනුස්සයා ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා පොලීසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ අනෙක් තුන්දෙනාට වුණ අසාධාරණයට අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.” කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්