පළමු මහ බැංකු බැදුම්කර වංචාවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිපතිවරයා තුන්වන වරටත් යවන ලද ලේඛන සිංගප්පූරුවේ නීතිපතිවරයා සලකා බලමින් සිටින බවට වාර්තා වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ, පළමු ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී.

චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරුවරන්ගෙන් සැදුම්ලත් මඩුල්ලට මේ බව දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලින්ද රණසිංහ විසින්.

2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් මිලියන 600ක මුදලක් වංචා කර ඇති බවට අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු නඩුවේ විත්තිකරුවන් 10 දෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ වනවිට මලයාසියාවේ පදිංචිව සිටින බවට පැවසෙන 10 වන විත්තිකරු වන පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සිතාසිය විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය හරහා මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දෙන ලෙසයි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ.

ඔහුට අමතරව නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම, එහි ප්‍රධානී අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ජෙෆ්රි ඇලෝසියස්, පුෂ්පමිත්‍ර ගුණවර්ධන, රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරියි.

නඩුව අද කැදවූ අවස්ථාවේදී පුෂ්පමිත්‍ර ගුණවර්ධනය හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි අධිකරණය හමුවේ පෙනී සිටි අතර සෙසු විත්තිකරුවන් දෙවන මහ බැංකු බැදුම්කර වංචාවට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බැවින් අධිකරණයට රැගෙනවිත් නොතිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඊයේ දෙවන මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

මෙන්න බලන්න තවත් පුවත්