කසල ආහාරයට ගැනීමෙන් මියයන ශ්‍රී ලංකාවේ වන අලි පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යවල පළවූ පුවතක් ට්විටර් සටහනක් ලෙසට පළ කිරීමට ජනප්‍රිය හොලිවුඩ් නලු ලියනාඩෝ ඩිකැප්‍රියෝ කටයුතු කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අම්පාර ප්‍රදේශයේ කසල කන්දක් හේතුවෙන් වන අලි විශාල පිරිසක් මියගොස් ඇති බවටයි.

ගතවූ වසර 8ක පමණ කාලය තුල පල්ලක්කාඩු කසල කන්දේ ඇති ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වන අලින් 20ක පමණ ප්‍රමාණයක් මියගොස් ඇතැයි තොරතුරු වාර්තා වන බවටයි එමගින් සඳහන් කර ඇත්තේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලකාඩු කසල කන්දේ කසල ආහාරයට ගැනීමෙන් පසුගිය සති අන්තයේ තවත් වන අලින් දෙදෙනකු මියගොස් සිටියදී හමුවී ඇති බවටයි අදාළ විදෙස් මාධ්‍ය වාර්තාව පෙන්වා දෙන්නේ.

විවෘත කසළ රඳවනයක ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට වන අලි සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරු අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

මියගිය සතුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් කුණු කන්දේ ඇති දිරාපත් නොවන ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී පශු වෛද්‍යවරයෙකු වන නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ පොලිතීන්, ආහාර දවටන, ප්ලාස්ටික්, නොදිරන වෙනත් ද්‍රව්‍ය සහ ජලය පමණක් මෙම අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී දැකගත හැකි වූ බවයි.

අලි ඇතුන් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ආහාර පැහැදිලිව පෙනෙන්නට නොතිබු බව ද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වුව ද මේ වනවිට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

රටේ පළමු අලි සංගණනයට අනුව 19 වන සියවසේ වන අලි 14,000ක් පමණ සිට ඇති අතර එය 2011 වසර වන විට 6,000 දක්වා අඩු වී තිබෙනවා.

වන අලින්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වීම සහ වන විනාශය හමුවේ එම සත්වයන්ගේ ජිවිත වැඩි අවදානමට ලක්ව තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්