මැදපෙරදිග සිට මෙරට අන්තවාදය පැතිරවීමට කටයුතු සිදුකරනු ලබන පුද්ගලයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කොට මෙරටට පැමිණ වැලිගම ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව සහ අනියම් ආකාරයෙන් සම්බන්ධ වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මාවනැල්ල, කිරිගන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙකු වන මෙම සැකකරු අන්තවාදී මත පැතිරවීම, ඒ සඳහා කටයුතු කරනු ලබන පුද්ගලයින්ට මුදල් සැපයීම සහ ආධාර එකතු කිරීම යනාදී චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම මෙම පුද්ගලයා ජමාතේ ඉස්ලාම් මතවාදය දරනු ලබන අයෙක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

මෙම සැකකරු සතුව තිබී මුදලින් රුපියල් ලක්ෂ 27ක් සහ ලැප්ටොප් පරිගණක 03ක් ද පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්