රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවා හමුවී තිබෙනවා. එම සිසුවාගේ මව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී 10ට පමණ ඔහු නිවසට පැමිණි බවයි.

තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බව නිවසට පැමිණි පසු ඔහු ප්‍රකාශකර ඇතැයි වාර්තා වනවා. නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව ප්‍රකාශ කලේ සිසුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි.

පොලීසිය ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මෙම සිසුවා සොයා පොලිස් කණ්ඩායම් 4ක් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබුවා.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවෝන් කෙනී නමැති මෙම සිසුවා නිවසින් අතුරුදන්ව තිබුණේ පෙරේදා පෙරවරුවේ සිටයි. පසුව ඔහු ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන් කරන ආකාරය එදින පෙරවරුවේ සී.සී.ටී.වි කැමරාවක සටහන්ව තිබුණා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තම නැගනියගේ දරුවා බව රංගන ශිල්පී සේනක විජේසිංහ සඳහන් කළා.

අතුරුදන්ව ඇති ඩෙවෝන්ගේ පියා විදෙස්ගතව සිටින අතර ඔහුගේ මව සඳහන් කළේ තම පුතු නිවසින් පිටව යාමට හේතුවක් නොදන්නා බවයි.

මෙම සිසුවාගේ අතුරුදන්වීම පිළිබඳ ගල්කිස්ස පොලිසිය විසින් තවදුරටත් සොයා බැලීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්