ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් තවදුරටත් පහළ දැමීම පිළිගත නොහැකි තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම CCC ප්ලස් තත්ත්වයේ සිට CCC මට්ටම දක්වා පහත හෙලීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය තීරණය කළේ ඊයේ දිනයේදීයි. බාහිර ණය සේවාකරණය සම්බන්ධයෙන් ඇති අවදානම සලකා බලා එම තීරණය ගත් බවයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එළඹෙන 18 වනදාට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පියවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු  තිබියදීත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහත හෙලීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කටයුතු කිරීම නුසුදුසු ක්‍රියාවක් බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ මෙරට ආර්ථිකය තුළ සිදුවෙමින් පවතින ධනාත්මක තත්ත්වයන් හඳුනා ගැනීමට එම ආයතනය අසමත් වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ දක්වා තිබෙනවා. මෙම තත්ත්වය ආයෝජකයින්ගේ විශ්වාසයට මෙන්ම රටේ නිල සංචිත ගොඩනැගීමට අහිතකර ලෙස බලපා ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙනවා.

ණය සේවා කරණයේ නොකැලැල් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව සියලුම පාර්ශවවලට යළි සහතික වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ණය ශ්‍රේණිගත කිරීම්හි තවත් ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය ද ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල CCC තත්ත්වයේ සිට CC තත්ත්වය දක්වා පහත හෙලීමට ඉකුත් දෙසැම්බර් මාසයේදී පියවර ගත්තා.

මෙන්න බලන්න තවත් පුවත්