ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩාකිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

“ඕනෑම ක්‍රීඩයකයකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකයි. මේ සියලුදෙනා වෘත්තිමය ක්‍රීඩකයන්.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊට ගරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට අපි පසුගිය කාලයේ දී ක්‍රියා කළා.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ තීන්දුවක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස ද පත් කෙරුණා. ඔහුගේ සේවය මේ වනවිට වයස අවුරුදු 19 පහළ ලෝක කුසලානය තරගාවලියේ දී අපගේ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ද ලබා ගනිමින් තිබෙනවා.”

“වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබෙනවා. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුයි.”

“ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමග ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් තිබෙනවා.”

“එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නෑ.”

“පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරුණා. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසා. එම ක්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද මා මැලිවන්නේ නෑ.” අමාත්‍යවරයා ගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙන්න බලන්න තවත් පුවත්