මින් ඉදිරියට එල්.පී.එල්.තරගාවලිය සඳහා එක්විය හැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය ක්‍රිකට් තරග සඳහා 80% ක සහභාගීත්වයක් දක්වා ඇති ක්‍රීඩකයින් සඳහා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා සිටියා.

අද (07) සවස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී අදාළ තීරණය සම්බන්ධයෙන් විධායක කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විට දක්ෂතා ද දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම් සහ රට නියෝජනය කිරීම දෙවැනියට දමා මුදලට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවත් ඒ හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අනාගතයේ දී බරපතළ කඩා වැටීමකට ලක්විය හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම 80% දේශීය තරග තීරණය ගනු ලැබුවේ ද එම ප්‍රවණතාව හරහා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන අගතිය වළක්වා ගැනීමට බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව ට ප්‍රකාශ කර ඇති ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයින් කිහිප පළක්ම ඔහුගෙන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම නිලධාරියා කියා සිටියා.

මහේල ජයවර්ධන භානුක රාජපක්ෂ සමඟ පැයකට ආසන්න කාලයක් මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදීත් භානුක ගෙන ඇති තීරණය වෙනස් කිරීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කළේ.

මේ අමතරව මෙරටින් බිහි කළ සුපිරිතම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙන ලසිත් මාලිංග ද අවස්ථා දෙකකදී භානුක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම සඳහා ගත් තීරණය වෙනස් කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

නමුත් එම ඉල්ලීමටත් ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වුණේ නැහැ.

මහේල සමග පැවති මෙම සාකච්චාවෙන් අනතුරුව භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ ක්‍රීඩාවෙන් සමු ගැනීමේ ලිපිය භාර ගැනීමට අදහස් කළ බවත් ඔහු කියා සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් භානුක රාජපක්ෂ මේ මස මැද භාගයේ ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.

2022 ජනවාරි 21 සිට පෙබරවාරි 18 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී භානුක නියෝජනය කරන්නේ බංග්ලාදේශ කුල්නා ටයිගර්ස් කණ්ඩායමයි.

ඇමරිකානු ඩොලර් 75,000 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 18.15) ක මුදලකට මෙම කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා භානුක රාජපක්ෂ දැනටමත් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රිකට් බලධාරීන් කියා සිටින්නේ ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමු ගැනීම ප්‍රකාශයට පත්කළ ක්‍රීඩකයෙකු පවා තවත් රටක වෘත්තීමය ක්‍රිකට් ලීගයකට එක් වන්නේ නම් ඊට පෙර අදාළ රටේ ක්‍රිකට් පරිපාලනයෙන් ඒ සඳහා නිසි අවසරය ලබාගත යුතු බවයි.

යම් හෙයකින් එම අවසරය භානුකට ලබාගත නොහැකි වුවහොත් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ලීග සඳහා එක් කර නොගන්නා බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව ඔහු ඉඟි කළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීම සිදුකල භානුක රාජපක්ෂ ට බොහෝවිට බංග්ලාදේශ ක්‍රිකට් ලීගයට එක්වීම සඳහා අවසර නොලැබෙනු ඇති බවටයි.

මේ අතර තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් භානුක රාජපක්ෂ කියා සිටියේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත හරවා ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවයි.

තමන් ගත් තීරණයේ දැඩිව එල්බ සිටින බවත් එම පණිවිඩය හරහා භානුක දන්වා තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්