‘ටාෂියා කාලිදාස’ යොවුන් රංගන ශිල්පිනිය ගැන මේ දිනවල බොහෝ දෙනා කතාවන්නේ පාකිස්ථානු ටෙලි නිර්මාණයක, රංගනයට දායකවීම නිසාය. ලාංකීය හමුදාවේ නිලධාරිනියක ලෙස කටයුතු කරන ‘නෙත්මි පෙරේරා’ පාකිස්ථානයට යන්නේ සයමසක හමුදා පුහුණුවක් වෙනුවෙනි.

ඉනික්බිතිව සිදුවන්නේ කුමක්දැයි, ටාෂියා දායක වූ මෙම පාකිස්ථානු ටෙලි මාලාව වන Snife Aahan නාට්‍ය නරඹා දැනගත හැකිය. ලෝක වසංගත තත්ත්වයක් පවතින මේ සමයේ දී, පාකිස්ථානයට ගොස් යෙහාලිවූ ටාෂියා කාලිදාස යොවුන් ශිල්පිනිය මේ නාට්‍යය රූගත කළ සමයේ දී අත්විඳි, රසමුසු අවස්ථා මතකයන් මොන වගේද? ටාෂි ඒ ගැන අපට කියාවි.

ටාෂියා මුලින්ම කියන්න මේ නාට්‍යයට සම්බන්ධවීමේ අවස්ථාව ඔබට ලැබුණේ කොහොමද කියලා?

කර්නල් රෝහණ වික්‍රමසිංහ අපේ තාත්තාගේ යාළුවෙක්. එතුමා තමයි කියලා තිබුණේ. ටී.වී. සීරිස් එකකට Bio–Data එකක් එවන්න කියලා. මේ විදියට පාකිස්ථානු නාට්‍යයක රඟපෑමට කියලා එතුමා කියලා තිබුණා. ඒ විදියට තමයි මාව තෝරා ගත්තෙ. මේ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා පසුව මාව Zoom තාක්ෂණය ඔස්සේ ඉන්ටර්විව් කරලා මේ නාට්‍යයේ විදිය ගැන කිව්වා. උර්දු භාෂාවෙන් පොඩි වීඩියෝ එකක් කරලා එවන්න කියලා කිව්වා. ඒ විදියට මේ කටයුතු සිදු වුණාම ඉක්මනටම එහි රූගත කිරීම් පටන් ගත්තා. ඒ විදියට ගිහින් මාස තුනක් පාකිස්ථානයේ නැවතිලා හිටියෙ. මගේ සෑම වැඩකටම අම්ම මා එක්ක එනවා. මේ වැඩේටත් අම්මා ආවා. ඉතින් ඒ නිසා කිසි පාළුවක්, බයක් නැතුව මේ නාට්‍යයේ රූගත කිරීම්වලට මුහුණ දෙන්න පුළුවන් වුණා.

උර්දු ඉගෙන ගත්තේ කොහොමද?

මට උර්දු බැහැ. ඒත් ඩයලොග් පුරුදු පුහුණු වෙන්න එයාලා මට ලොකු සපෝට් එකක් දුන්නෙ.

කෝවිඩ් වටපිටාව එක්ක පාකිස්ථානයට ගිය විදිය කියමු?

පාකිස්ථානයේ නම් කෝවිඩ් නැති තරම්. එයාලා වැඩි දෙනෙක් මුඛ ආවරණ පළඳින්නේ නැහැ. අපි නම් නිතරම මාස්ක් දාගෙනමයි හිටියෙ. එයාලා මේ වසංගතය එච්චර ගණන් ගන්නෙ නැහැ. හැබැයි ඒ වුණාට සාප්පු සංකීර්ණවලට එහෙම මාස්ක් නැතුව යන්න දෙන්නෙ නැහැ.

පාකිස්ථානු ගමන පටන් ගත්ත තැන ඉඳලා ඒ විස්තර කිව්වොත්?

මුලින්ම අපි ගියේ කරච්චියට. ඉන්පස්සේ ඉස්ලාමාබාද් නුවරට. වැඩි හරියක් රූගත කිරීම් සිදු වුණේ. ‘ඇබොෆාබාදි’ නුවර. ආයෙත් කරච්චියට ආවා. ලංකාවේ සිට මුලින්ම කරච්චියට ගියාම අපිව පිළිගන්න එරට හමුදාවේ කර්නල්වරයකු පැමිණ සිටියා. එහිදී අපට ලැබුණේ ඉහළම සත්කාර. ඒ ගැන කියන්නම ඕනෑ.

කොහොමද ‘ඉස්ලාමාබාද්’ නුවර?

එරට අගනුවර නිසා, කාර්යබහුල පරිසරයක් එතැන තියෙන්නෙ. ලස්සන නගරයක්.

‘ටාෂි’ වඩා කැමැති කරච්චිවලට ද? ඉස්ලාමාබාද් නුවරට ද?

කරච්චිවලට වැඩිපුර ආසයි. මොකද කිව්වොත් එහේ කෑම එහෙම හරිම රසයි. ෂොපින් කරන්න ගියාම පිස්සු වැටෙන තරම්. කරච්චියේ සෑම දෙයක්ම තියෙනවා. මොන විලාසිතාව තෝරා ගන්නද කියලා හිතා ගන්න බැරි තරමට විලාසිතා තියෙන ලෝකයක්.

‘කරච්චියේ දී’ ටාෂියා පිස්සු වැටුණෙ මොනවටද?

ඇඳුම්වලට තමයි. පුදුම විදියෙ ලස්සන ලස්සන ඇඳුම්. ඒවා දැක්කාම අරගෙන මිසක් නිකං එන්න හිතෙන්නෙ නැහැ.

මොකක්ද ඒ ඇඳුම්වල තියෙන විශේෂත්වය?

ඒවා කියන්න බැරි තරමට ලස්සනයි. කොයි එක තෝරා ගන්නද කියලා හිතා ගන්න බැරි තරමට හිත යනවා.

රූගත කිරීම් පටන් ගන්නා විදිය ගැන විස්තර කිව්වොත්?

මුලින්ම ෂූටිං තිබුණෙ ඉස්ලාමාබාද් නුවර කෞතුකාගාරය පරිශ්‍රයේ. අපි ඒක නරඹන්නත් ගියා. ඒකෙ නම (ටැක්සිලා). ටැක්සිලා කෞතුකාගාරයේ බුදු පිළිම එහෙමත් තියෙනවා. පළමු සහ දෙවැනි සියවසට අයත් බොහෝ ප්‍රතිමා එහිදී දැකගන්න පුළුවන්.

පාකිස්ථානයේ ඇවිදපු තැන්වලින් ටාෂියා වඩා කැමැති?

අපි නරාන්කගාන්වලට ගියා. ඒ පළාත ශීත දේශගුණයක් තියෙන තැනක්. හිම වැටෙනවා. ජීවිතේ පළවෙනි වතාවට හිම වැටෙන පරිසරයක ගත කරන්න ලැබුණා. හරිම ලස්සන පළාතක්. හරියට කිව්වොත් නවසීලන්තය වගේ තැනක්.

කෑමවලට රස වැටුණේ කොතැනදී ද?

කරච්චියේ දී. කොහොමටත් පාකිස්ථානයේ කොතැනක ගියත් කෑම හරිම රසයි. බිරියානි, රොටි වර්ග එහෙම හරිම රසයි.

මේ නාට්‍යයේ රඟපාන එරට නළු නිළි පිරිස ගැන සඳහන් කළොත්?

ඒ රටේ ජනප්‍රියම සහ සම්මානනීය පිරිසක් රඟපාන්නෙ. ෂූටිං කරන කාලයේ දී එයාලාගෙ සම්මාන උළෙලක දී දක්ෂතම නිළිය සහ ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවා. තවත් රංගන ශිල්පිනියක් ඉන්දියාවෙ පවා ගිහින් රඟපෑ කෙනෙක්. එයාගෙ නම සවිලි. ඒ පිරිස එක්ක රඟපෑමට ලැබීම ලොකු සතුටක්. එයාලා හරිම ‘ප්‍රොපෙෂනල්’. හරි නිහතමානී නළු නිළි පිරිසක්. එයාලගේ ආගන්තුක සත්කාර පවා එහෙමයි.

ඒ පිරිස අතරින් වැඩිපුර මිතුරු වුණේ?

නාට්‍යයේ චරිත හැටියට වැඩිපුර මට රඟපාන්න තිබුණේ සවිල් එක්ක. ඇය හරිම හොඳයි. හොඳ මිත්‍රත්වයක් ඇතිවුණේ. රමිෂා, දනනි, ෂයිඩා ඒ ඔක්කොමලා හරිම හොඳයි. ලංකාවට ආවාම අපිට කතා කරන්න එහෙම කියලත් මම ‘සවිලිට’ කිව්වා. කොහොමටත් එයාගේ සැමියා එක්ක ලංකාවේ සංචාරයකට එන්න ඉන්නෙ කියලා එයා කිව්වා. මේ නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදන අංශයේ බොහෝ දෙනා ලංකාවට ඇවිත් තියෙනවා.

එයාලා ලංකාවේ මොනවා ගැනද වැඩිපුර කතා කළේ?

එයාලා වැඩියෙන්ම ආසා ක්‍රිකට්වලට. අපේ කෑමවලටත් එයාලා හරිම ආසයි. එයාලගේ ක්‍රිකටර්ස්ලටත් වඩා, එයාලා වැඩියෙන්ම ආසා වගේම ආදරය කරන්නෙ අපේ ක්‍රිකටර්ස්ලට. මම හිතන්නෙ ලෝකයේ එයාලා වැඩිපුරම ආසා අපේ ක්‍රිකටර්ස්ලට.

මෙම සංචාරයේ තවත් අමතක නොවන සිදුවීම් මොනවාද?

එයාලා හැමෝම හරි එකමුතුයි. හරි සතුටින් ඉන්නෙ. මගේ ‘උපන්දිනය’ දවසේ එයාලා මාව ‘සප්‍රයිස්’ කළා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඔක්තෝබර් 4 වෙනිදා මගේ බර්ත්ඩේ එක තිබුණෙ. හරියටම මධ්‍යම රාත්‍රියේ දී කවුදෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා අම්මයි – මායි නැගිටලා බැලුවා. බලනකොට නාට්‍ය කණ්ඩායමේ පිරිස. බර්ත්ඩේ කේක් එකකුත් අරගෙන ඇවිත් මට සුබ පැතුවා. ඒ අවස්ථාව මට කවදාවත් අමතක වන එකක් නැහැ. අපේ අම්මගේ උපන්දිනය තිබුණෙ ඔක්තෝබර් 30 දා. එදා අම්මටත් ඒ විදියෙම සප්‍රයිස් එකක් කළා.

‘ටාෂියා’ කොච්චර දවසක් හිටියාද එහේ?

අපි පාකිස්ථානයට ගියේ අගෝස්තු 18. ආවේ නොවැම්බර් 18. පාකිස්ථානු මිෂිටර් ඇකඩමි එකේ ගත කළ දවස් හරිම සුන්දරයි. බොහෝ දේ අත්දකින්නට වගේම පළපුරුද්ද ලබන්න අවස්ථාවක් වුණා. ඒ දින ටික හරිම බිසි වෙලා හිටියෙ.

මෙන්න බලන්න තවත් පුවත්