ලංකා අයි.ඕ.සී සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50ක කාලයක් සඳහා එම සමාගමට ම බදු දීමට තීරණය කර තිබෙනවා.

ලංකා අයි.ඕ.සී සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වාරයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට යි.

මීට පෙර ලංකා අයි.ඕ.සී සමාගමට තිස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්‍යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිත ව තිබුණා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 91ක් ඇතුළත්. ඒ අතු‍රෙන් තවමත් තෙල් ටැංකි 75කට ආසන්න ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා.

මෙම තීරණය දැනුම් දෙමින් අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙසේ පොරොන්දුවක් ද ලබාදුන්නා..

” දැනට දිරාපත් වෙමින් තිබෙන ඉහල ටැංකි සංකීර්ණයේ ටැංකි 10ක් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට 2016 දෙසැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගන්නවා. ඒ තීරණය අනුව 2016 දෙසැම්බර් 29 දින තෙල් සංස්ථාවේ මෙහෙයුම් කලමනාකරු මේනක ජීවසිරි මහතා ඇතුළු නිලධාරින් පස්දෙනෙකු ටැංකි පරික්ෂා කිරීමට ලංකා අයිඕසි සමාගමට දැනුම් දී ටැංකි සංකීර්ණයට ඇතුළු වෙනවා. ඒ අවස්ථාවේ දී ලංකා අයිඕසී සමාගමේ නිලධාරින් විසින් තෙල් සංස්ථාවේ නිලධාරින් අයුතු ඇතුළුවීමක් කළා කියලා මේ අයව බලහත්කාරයෙන් රඳවා ගන්නවා. ඒ වගේම අයුතු ඇතුළුවීමක් ගැන ඉන්දියාව ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අප්‍රසාදය පල කරනවා.

ඒ අඳුරු අතීතය අපි නුදුරු දිනක අවසන් කරනවා. 2016 දී හිරිහැරයට ලක් වුණු නිලධාරින් පස්දෙනා සමග නුදුරු දිනක අපි තෙල් ටැංකි සංකීර්ණයට ගිහින් අපේ ජාතික කොඩිය ඒ භූමියේ ඔසවන්න අපි බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ එක දිගට දුක්බර ප්‍රවෘත්ති අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.”

මෙන්න බලන්න තවත් පුවත්