ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයට රනින් මතකයක් එක් කළ ප්‍රතිභාසම්පන්න අති දක්ෂ චරිතාංග රංගධරයකු ලෙසට ඔහුව ගෞරවයෙන් හඳුන්වා දිය හැක. දශක හතරක් වඩා වැඩි කාලයක් සිනමාවෙන් රූපවාහිනියෙන් වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ ඔබට වඩාත් සමීප වූ ඔහු ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී හේමසිරි ලියනගේය.

තවත් දින කිහිපයකින් අසූ වන ජන්ම දිනය සමරන්න සූදානම් වන ඔහු සමඟ මෙවර අපි ‘‘රහස්” විශේෂාංගයෙන් සුවිශේෂීව කතාබහක නිරත විමු.

ඔබේ නම කිව්වට බොහෝ දෙනෙක් තාමත් අඳුනන්නෙ නෑ නේද?

නෑ ……නෑ …….ගොඩක් අය අදටත් මාව දන්නේ මම රඟපාපු චරිත වල නම් වලින්. අයි නෝද ලෝ අංකල් කියලා තමයි ගොඩක් අය තාමත් මට කතා කරන්නේ. කොහොම නමුත් රඟපාපු පළමු චරිතයෙ ඉඳලා විවිධ චරිත අදටත් මිනිස්සුන්ගෙ හිතේ තියෙන එක ගැන නම් සතුටුයි.

ඔබේ පළමු රූපවාහිනී රංගනය?

අඹ යාලුවෝ ටෙලි නාට්‍යයේ ගල් බණ්ඩාගේ චරිතය ඒ දවස් වල ඒ චරිතය බොහොම ජනප්‍රියයි.

ඔබ කලා ලෝකයට පෑයූ ගුරු තරුවක්?

ඔව් ….මම වෘත්තියෙන් ගුරුවරයෙක්. ඒ රාජකාරිය කරන අතරතුරමයි රඟපෑමක් කළේ.

ගුරු වෘත්තියට ද වඩාත්ම කැමැති රංගන වෘත්තියටද?

මේ වෘත්තීන් දෙකම බොහොම පිළිගැනීමක් තිබුණු හරිම වටින වෘත්තීන් දෙකක්. ගුරුවරයෙක් විදිහට මම ඒ කාලේ බොහෝම සතුටින් වෘත්තියේ නිරත වුණා. නමුත් රජයෙන් පෙළපොත් ගහලා පොත් බලාගෙන උගන්වන සංස්කෘතියක් එක්ක නිර්මාණශීලී ගුරුවරයෙකු වු මට වෘත්තිය ගැන කලකිරීමක් ඇති වුණා.නමුත් වෘත්තීන් දෙකට ම මම බොහොම ආදරෙයි.

එදා මෙදා තුර ඔබ වඩාත් ජනප්‍රිය වන්නේ ?

වේදිකාවේ රූපවාහිනියෙ සිනමාවේ රඟ දක්වපු සෑම චරිතයකින් ම මිනිසුන්ගේ හදවතේ ලැගුම් ගත්ත බව නම් මට නිතරම දැනුණා…. නමුත් අඹ යාලුවෝ ටෙලි නාට්‍යයේත් අසල්වැසියෝ ටෙලිනාට්‍යය වගේම දූදරුවෝ චිත්‍රපටියෙත් රංගන මිනිසුන් අතරට වැඩිපුර ගියා කියලා දැනෙනවා …..මගේ පළමු චිත්‍රපටිය දූ දරුවෝ .එහි රඟපෑමට ජනාධිපති සම්මානය පවා ලැබුණේ ඒ නිසයි.

ලැබෙන ඕනෑම චරිතයක් තාත්විකව නිරූපණය කරන්න ඔබ තුළ තිබූ දක්ෂතාවය කෙබඳුද?

පිටපතක් අතට අරන් කියවනකොට ඒ චරිතය ගැන නිර්මාණය ගැන මගේ හිතට එනවා.පසුව මමත් ඒ චරිතය තුළ ජීවත් වෙමින් අධ්‍යක්ෂකවරයා එක්කත් කතා කරලා අදාළ චරිතයෙ ප්‍රති නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. ඒහෙම නිර්මාණයක නිරත උනාම මහා පුදුමාකාර ආස්වාදයකුත් ලැබෙනවා ..එහෙම නැතුව නිර්මාණයකට සහභාගි වෙලා සල්ලි පොදි බැඳන් ගෙදර ආව පලියට චරිතයක් නිරූපණය කරන්න….. විශාල මුදලක් අය කළ පමණින් රංගන ශිල්පියෙකුගේ දක්ෂතාවය හෝ වටිනාකම වැඩි වන්නේ නැහැ.

ඔබ රුපියල් සත පස්සෙ නොගිය කලාකරුවෙක් ?

අපොයි ඔව්. කවදාවත් මුදල් කතා කරලා කිසිම චරිතයකට මම මේ වෙනකන් පණ පොවලා නැහැ. රඟපෑමකට දායකවෙලා උපරිම දෙයක් කරලයි යම් මුදලක් එදා වගේම අදත් උපයන්නේ .ආර්ථික ප්‍රශ්න දරුණුවටම තිබුන කාලයේදීවත් මම ලාභ බලාගෙන කලාවේ නිරත වෙලා නැහැ …

ඔබට ලැබෙන අගය කිරීම් කොහොමද ?

අම්මෝ හරිම සතුටුයි….. අදටත් පාරක තොටක ගියාම, ගමකට ගියහම මිනිස්සු ආදරයෙන් මාත් එක්ක කතා කරනවා. ඇත්තම කියනවා නම් කලාවේන් මම හම්බ කරේ සල්ලි නෙමේ ,මිනිස්සු කියල මට හිතෙනවා .

තරුණ අවධියේදී තරුණියන්ගෙන් ලොකු ආකර්ෂණයක් ලැබුණාද?

කඩවසම් තරුණ නළුවෙකු විදිහට බොහෝ තරුණ අවධියේ දී එවැනි ආකර්ෂණයන් තිබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී මගේ පෙනුමට වගේම මගේ දක්ෂතා වලටත් බොහෝ දෙනෙකු කැමැත්තෙන් හිටියා .එහෙම වුණා කියලා කවදාවත් ඒ පිළිගැනීම් ඒ ආදරය අයුතු විදිහට නම් පාවිච්චි කරලා නැහැ .අදටත් මට හිතෙන්නෙ එදා ඇතිවුණු ඒ පුංචි පුංචි සම්බන්ධතා හරිම සෞන්දර්යාත්මකයි කියලයි ….

විනෝදාංශ විදිහට ඔබ මොනවද කරන්නේ?

ජීවිතයට මහා පුදුමාකාර ආස්වාදයක් මම රඟපෑමෙන් ලබනවා. ඇත්තම කියනවා නම් මගේ වෘත්තිය විනොදයෙන් කරන කෙනෙක් මම. ඊට අමතරව අදටත් මං පොත් පත් නම් ගොඩක් බොහෝම කැමැත්තෙන් කියවනවා .විනෝදය පිණිස කරන අනිත් දේ තමයි ඉඳහිට ” පොඩි අඩියක්” ගහලා සතුටින් ඉන්න එක.

නිරෝගී කම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොනවද කරන්නේ?

අවුරුදු අසූවක් වුණත් මම හරිම නිරෝගී කෙනෙක්. ඒ ගැන ඇත්තටම ආඩම්බරයි .කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක් නැතුව පුලුවන් හැම වෙලාවකම කාට හරි වචනයකින් හරි උදවු වෙලා ජීවත් වෙනවා. මම හැම වෙලාවෙම සතුටින් ඉන්නේ.
කෑම බීම ගැන නම් ලොකුවට හිතන්නේ නැහැ. ව්‍යායාමයක් විදිහට ගෙදරදොර කටයුතු වලට උදව් කරනවා…

ශරීරයට වඩාත් ම ගැළපෙන විලාසිතා මොනවාද?

ඉස්සර නම් කෝට් ,කමිස, කලිසම් ඇඳලා බොහොම ජැන්ඩියට හිටියා .දැන්නම් යන්නේ පුංචි කොට කලිසමකුයි ටීශර්ට් එකකුයි දාගෙන.ඇත්තටම පහසු ඇඳුමක් ඇඟ ට හොඳයි කියලා තමයි දැන් නම් හිතෙන්නේ.

ආභරණ පලඳින්න කැමතිද?

නැහැ….. වටිනා දේකට ඉස්සරත් මම පැළඳුවේ ඔරලෝසුව විතරයි. දැන්නම් ඒක පළදින්නෙත් නැහැ. තොරන් වාගේ බැබළෙන්න මාල මුදු දාගත්තාට මිනිසුන්ගේ වටිනාකම් වැඩි වෙන්නේ නැහැ. අපි ජීවත්වෙන විදිහයි වැදගත් වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ.

ජීවිතයේ වඩාත්ම සතුටු වුණු දවස?

පිරිමියෙකුගේ ජීවිතයේ දෙවැනි ඉපදීම සිද්ධවෙන්නේ විවාහයෙන් කියනවනේ ….. අදටත් මම හරිම සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියනවා. ඒ නිසාම අපේ විවාහය සිද්ද වෙච්ච ඒ සුන්දර දිනය අදටත් මට ජීවිතයේ වඩාත්ම සතුටු වෙච්ච දවසක් විදිහට මතක තියෙනවා….

පියකුගේ ලෙස ට දරුවන්ගේ ජයග්‍රහණය දකිද්දී මොකද හිතට දැනෙන්නේ?

කිසිම දරුවෙකුට ඔවුන් තෝරා ගත යුතු මාවතක් ගැන මම බල කිරීමක් කරලා නැහැ.පියෙකු විදිහට මගෙන් ඉටුවිය යුතු උපරිම දේ කලා. දරුවෝ අද ඉන්න තැන දැක්කහම ඇත්තටම පියකු ලෙසට අප්‍රමාණ සතුටක් ලබනවා… විශේෂයෙන්ම සෞම්‍ය පුතාගේ ප්‍රතිභාසම්පන්න රංගන හැකියාවන් ගැන ඇතැම් වෙලාවට මගෙත් දෑස් අදහා ගන්න බැරි තරම් ….

ආදරය ගැන මොකද හිතෙන්නේ?

මිනිසුන්ට ,සතුන්ට පමණක් නොවේ ගහකොළ වලටත් සමස්ත ස්වභාව දහමෙත්, පැවැත්ම, ආරක්ෂා ව ,රැක ගැනීම කියනා දේ ට ආදරය අත්‍යවශ්‍යයි .කොටින්ම කිව්වොත් විශ්වයම ජීවත් කරන මහා පුදුමාකාර දෙයක් ලෙසට මම ආදරය දකින්නේ.

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවත් වෙන්න මහ ලොකු කාලයක් තව ඉතුරු වෙලා නෑ නේ… මැරුණාට පස්සේ අපිට මොකුත් කරන්න ත් බෑ….. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් හොඳින් ජීවත් වෙන්න ඕනේ කියලා මම නිතරම හිතෙනවා ….විශේෂයෙන්ම සරල වෙන තරමට ජීවිතය හරිම සැහැල්ලුවෙන් සතුටින් ගතකරන්න පුළුවන් කියලා තමයි මට ජිවිතය දැනෙන්නේ …

අනාගත බලාපොරොත්තු මොනවාද?

කිසිම බලාපොරොත්තුවක් නම් නැහැ ආසාවල් පොදි බැඳගෙන ඉලක්ක එක්ක ජීවත් වෙන්න කෙනෙක් නම් නෙවේ මම මැරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා දන්නේ නැත්තේ ඉපදෙන්න කලින් කොහෙද හිටියේ ඉඳලා ආවේ වත් කියලා දන්නේ නැති මම මේ ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගත කරන්නයි උත්සහ කරන්නේ…..එක තමයි බලාපොරොත්තුව .

වාසනාව ලැබීම ගැන ඔබ විශ්වාස කරනවද?

ඔවා ගැන නම් කොහෙත්ම විශ්වාසයක් මට නැහැ…. උනන්දුවෙන් ,උත්සාහයෙන්, දක්ෂතාවයකින් කැපවීමකින් අපිට යම් දෙයක් ලබාගන්න පුළුවන් කියල නං හිතනවා ඇරෙන්න මම නම් ඕව ගැන පොඞ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ. මම බොහොම දුෂ්කර මාවතකින් අද මෙතැනට ආපු කෙනෙක්. රැකියාව අහිමි වෙලා බොහෝ තාඩන පීඩන වලට ලක්වෙච්ච කාල තිබුණා. ඒ කිසිම ප්‍රශ්නයක් නිසා මම සැලුනේ නැහැ. ජීවිතයට ශක්තියක් කරගත්තා. මට මගේ ආත්ම විශ්වාසය ගැන වාසනාවට වැඩිය විශ්වාසයි ….ඒ නිසා මම කවදාවත් වාසනාවට ඇදෙනවා කියලා හිතෙන ලොතරැයි පතක්වත් ගන්නේ නැහැ……

අසුන්තා එදිරිසූරිය

මෙන්න බලන්න තවත් පුවත්