දහනව හැවිරිදි තරුණියකට විවාහ යෝජනාවක් කර ඇයට ත/ර්ජනය කළ බලහත්කාරයෙන් විවාහ කරගැනීමට උත්සහ කළ බව කියන හැට එක් හැවිරිදි විවාහකයෙක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.සැකකරු තරුණියගේ ඥාතියෙකු බවද පොලිසිය සඳහන් කරයි.මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුගේ බිරිඳ මෙලොවින් සමු අරන් ඇති අතර දහනව හැවිරිදි තරුණිය ට වඩා වැඩිමහල් දරුවන් ඔහුට සිටින බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක රියදුරකු වශයෙන් සේවය කරන බවත් දැරියගේ හිඹුටානේ පිහිටි නිවස ආසන්නයේ ඔහු නැවතී සිට ඇති බවද පොලිසිය පවසයි.තරුණියගේ පියා මේ වන විට ජීවත්ව නොමැති අතර වයස අවුරුදු දාහතරේ සිට මෙම සැකකරු ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ඇය පාසල් රැගෙන යාම පන්ති රැගෙන යාම වැනි කටයුතු කර ඇති බව ද කියති.සැකකරු තරුණියට ආදර යෝජනා කළ එස්. එම්. එස් පණිවුඩ රැසක් ම ජංගම දුරකථනයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

මෙම තරුණියට කුඩා කාලයේ දී සැකකරුගෙන් හිරිහැර සිදුව ඇති බවත් ඇයට ඒ සම්බන්ධයෙන් හරිහැටි වැටහීමක් නොමැති නිසා කිසිවකුටත් ඒ සම්බන්ධයෙන් කීමට හැකියාවක් ලැබී නැති බවද පොලිසිය කියයි.පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් මෙම තරුණිය විශ්වවිද්‍යාලයට කැඳවන තෙක් ආයතනයක රැකියාවට ගොස් ඇති බවත් එහි මිතුරියකට ඇය මෙම සියලු හිරිහැර පවසා ඇතැයිද පොලිසිය කියයි.

සැකකරු තරුණිය රැකියා කරන ස්ථානයට ගොස් එහි සේවකයන් ඉදිරියෙහි පහරදී තර්ජනය කර ඇතැයි ද තමාගේ කීමට අවනත නොවන්නේ නම් බලහත්කාරයෙන් රැගෙන යන බවට ද සැකකරු තරුණියට තර්ජනය කර ඇත.එම සිද්ධියෙන් බියට පත් තරුණිය ඇයගේ මිතුරියකගේ උපදෙස් අනුව ඉකුත් 23 වැනිදා මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.තරුණිය පොලීසියට ගිය බවට ආරංචි වූ සැකකරු පොලිසියේ දී තරුණියගේ ජංගම දුරකථනයට කතාකර ඇය පොලිසියට ඒම සම්බන්ධයෙන් බැන වැදී ඇති අතර පොලිසියට ගියද මා කෙසේ හෝ ඇය පැහැරගෙන රැගෙන යන බව ද ත/ර්ජනය කර ඇත.

මුල්ලේරියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් ඉදිරියේ ජංගම දුරකථනය ස්පීකර් ක්‍රියාත්මක කළ තරුණියන් එම තර්ජන පොලිස් නිලධාරීන්ට ද ඇසීමට සලස්වා ඇත.මෙම පැමිණිල්ල අනුව පොලිස් නිලධාරීන් සැකකරුට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නද ඔහු දින කිහිපයක්ම පොලිසිය මඟ හැර ඇත.පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු රාජකාරි කරන වැල්ලම්පිටියේ විහාරස්ථානය ආසන්නයට ගොස් සැකකරු උපක්‍රමශීලීව පිටතට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා සැකකරු අමතා තමාගේ දරුවෙකුටත් වඩා බාල තරුණියකට විවාහ යෝජනා කිරීම,ඇයට ත/ර්ජනය කිරීම,දරුවන්ටත් වඩා වයසින් බාල තරුණියකට ආදර කෙටි පණිවිඩ යැවීම වැනි ක්‍රියාවන්වල නිරත වීම සම්බන්ධයෙන් සැකකරුට දැඩි ලෙස අවවාද කළ බවත් පොලිසිය කියයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්