හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනවිරත්න මහත්මිය නව සොයා ගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප් සම්මානය පසුගිය දා දිනාගත්තා.

ඇයට මෙම සම්මානය පිරිනැමීමට විශේෂතම හේතුව වන්නේ මිනිසාගේ ශ්‍රෝණි පටිය වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම් ය.

ලෝකය පුරා පිළිගත් මෙම සුවිශේෂ වූ සම්මානය මෙයට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනෙකු පමණි. සෙනෙවිරත්න මහත්මිය ඇයගේ පරීක්ෂණ වෙනුවෙන් මෙරට දී ජනාධිපති සම්මානය දෙවතාවක්ම හිමිකර ගත්තාය.

මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන් වූ සම්මානය ද හිමිකර ගෙන ඇත.ඇය විසින් ජෛව වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය සඳහා දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව විශාලයි.සෙනෙවිරත්න මහත්මිය චිකාගෝ විශ්ව විද්‍යාලයේ දී ආචාර්ය උපාධිය සඳහා දෙන කටයුතු කළ අවස්ථාවේදී ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කළලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවක ට ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකි ජානයක් ද සොයා ගන්නා ලදී.

මෙම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉහළ අවධානයක් හිමි වූ අතර එරට පලවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන proceedings of the national sciences හිද ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබිණි. ගයානි සෙනෙවිරත්න මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.ඇය විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේ දී ඇතුළත් වූවාය.තමා මතු දිනෙක මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ විද්‍යාව හදාරන දරුවන්ගේ සිහින සැබෑ කර දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ආචාර්ය සෙනෙවිරත්න මහත්මිය පැවසුවා.

එසේම පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් විසඳීමට හැකි තමන්ගේම විද්‍යාගාරයක් මතු දිනෙක පවත්වාගෙන යෑමට තමාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බව ඇය සඳහන් කළා.ගයානි සෙනෙවිරත්න මහත්මිය සුරාබදු කොමසාරිස් (මධ්‍යම පළාත්) උපුල් සෙනවිරත්න මහතාගේ දියණියකි.

මෙන්න බලන්න තවත් පුවත්