දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන්ට සාමාන්‍ය ප්‍රවේශ පත් නිකුත් කිරීම අත්හිටුවීම හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

මෙලෙස දෛනික ආදායම් අහිමි වීම දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි වනු ඇති බවයි එම සංගමයේ අදහස වන්නේ.

වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් 25 ක් මුල් කරගෙන හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත් වී දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඊට සමගාමීව ප්‍රවේශ පත්‍ර ලබාදීම සහ පාර්සල් භාර ගැනීමෙන් වැළකී ඔවුන් මේ වන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ඉල්ලීම් රැසකට විසඳුම් ලබාදීමට එකඟ වූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

එසේම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුවන පාඩුව රුපියල් මිලියන 5ක පමණ වන බවයි ඔහු සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්