දහහතර හැවිරිදි දැරියක රුපියල් පනස් දාහක මුදලට නොයෙකුත් පුද්ගලයන්ට විකිණූ­ ඇගේ ඥාති සොහොයුරියක සහ රුපියල් පනස් දහසකට දැරිය මිලදී ගත් මෝටර් රථ අලෙවි කොටස් විකිණීමේ යෙදෙන ව්‍යාපාරිකයෙකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී රුපියල් පනස්දාහ බැගින් ගෙවා ඇයගේ පහස ලබාගත් පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන තොරතුරු හෙළිවී ඇතැයි මරදාන පොලිසිය කියයි. සමහර පුද්ගලයන් ගැන ඇය තොරතුරු කිසිවක් දැන නොසිටින බව පොලිසිය කියයි.

රුපියල් පනස් දහසක මුදලකට දැරිය විකුණා මුදල් ලබාගන්නා ඥාති සොහොයුරිය ඇයට ඇඳුම් පැළඳුම් හා කෑම බීම රැගෙන දී ඉතිරි මුළු මුද ලම ඥාති සොහොයුරිය ගන්නා බව මේ පිළිබඳව කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතා කීවේ ය.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව මෙම දැරියගේ ඥාති සොහොයුරියකි. දැරිය පාසල් යන වියේ පසුවන අතර ඇය කොළඹ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන බව මරදාන පොලිසිය කීය.

මෙම ඥාති සොහොයුරිය දැරියගේ මවුපියන් දැනුවත්ව දැරිය නිවසින් රැගෙන ගොස් තිබේ. ඒ ඇයට ආදරය සෙනෙහස දක්වන බව අඟවමිනි.

මෙලෙස මවුපියන්ගේ අවසරය මත රැගෙන යන දැරිය යළි නිවසෙට ගෙනැවිත් ඇරලද්දී ඇයට කෑම බීම සහ ඇගේ නිවසට ද කෑම බීම ගෙනැවිත් දීම මෙම ඥාති සොහොයුරිය පුරුද්දක් කරගෙන තිබේ.

මේ නිසා දැරියගේ මවුපියන් මෙම ඥාති සොහොයුරිය ගැන සැකයක් උපදවාගෙන නැති අතර දැරියව රැගෙන යාමට ද ඥාති සොයොහොයුරියට ඉඩකඩ ලබා දී තිබේ.

මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙම ඥාති සොහොයුරිය දාහතර හැවිරිදි දැරිය නිවසින් රැගෙන ගොස් ඇත. සමහර දිනවල දැරිය තම නිවසේ රඳවා ගන්නා බව කියමින් දින දෙක තුන ඥාති සොහොයුරිය සිය නිවසේ රඳවා තබා ගෙන තිබේ.

කෙසේ වෙතත්, මෑතක සිට දැරිය ඥාති සොහොයුරිය සමග නිවසින් පිටවී යෑමට අකමැත්ත පළ කර තිබේ. ඇය මේ බව සිය මවුපියන්ට ද දන්වා තිබේ. පසුව මවුපියන් ද දැරියගේ අකමැත්තෙන් රැගෙන යාම ගැන ඥාති සොහොයුරියට අකමැත්ත පළ කර තිබේ. එහෙත් ඥාති සොහොයුරිය දැරිය බිය කරමින් යළිත් රැගෙන යාමට උත්සාහා දරා ඇත. පසුව මෙම සිදුවීම මරදාන පොලිසියට දැනුම් දී ඇති අතර මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා ඇත.

පසුව දැරිය ගෙනැවිත් ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇත්තේ දැරියට කෑම බීම ආදරය සෙනෙහස ලබා දෙන මුවාවෙන් රැගෙන යන මෙම දැරිය ඥාති සොහොයුරිය විසින් නොයෙකුත් පුද්ගලයන්ට විකුණා ඇති බව ය. බාලවයස්කාර දැරිය සමග වරක යහන්ගතවීමට ඥාති සොහොයුරිය එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක මුදලක් අය කර ගෙන ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. එලෙස ලබා ගන්නා මුදලින් ඥාති සොහොයුරිය සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ඥාති සොහොයුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන් ම දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී දැරිය සමග මුලින් ම ලිංගිකව හැසිරී ඇති මෝටර් රථ කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 38 හැවිරිදි විවාහකයෙකි.

දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැරියගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවද මරදාන පොලිසිය කියයි.

දැරියගේ ප්‍රකාශය මත රුපියල් පනස්දාහ බැගින් ගෙවා දැරිය සමග ලිංගිකව හැසිරුණු ව්‍යාපාරිකයන් හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බව මරදාන පොලිසිය කියයි.

සැකකාරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර හා සහකාර පොලිස් අධිකාරි සෙනරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත මරදාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නන්දනී ප්‍රියංකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරති.

මෙන්න බලන්න තවත් පුවත්