සපුගස්කන්ද තෙල් පිරිපහදුවලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

මුදලට බොර තෙල් ලබාගැනීමේ හැකියාවක් නැතත් ණයට බොරතෙල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව කී ඇමතිවරයා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඉන්ධන වර්ගය ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත්, විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

එසේ ලබාගැනීමට නොහැකි වුවහොත් ජනවාරි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 20 ක කාලයක් පිරිපහදුව වසාදමන්නට සිදුවනු ඇතැයි සඳහන් කළේය.
එමෙන්ම කෙසේ වෙතත් ජනවාරි 23 සිට අඛණ්ඩ බොර තෙල් ලැබීමක් සහතික වී තිබෙන නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ මෙතෙක් අවදානමක් නැතැයි ද ඇමතිවරයා කීවේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසුවේ කොළඹ දී අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් කෝටි 36 ක් පමණ අවශ්‍ය බව කී ගම්මන්පිල ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීමේ අභියෝගය මේ වන විට උච්ඡ ස්ථානයට පැමිණ ඇතැයි පැවසුවේ.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි කී ඇමතිවරයා ඩොලර් සොයාදෙන ලෙස එම සමාගම් දෙකටම දැනුම් දී තිබෙන බව ද කීවේ.

ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමතිවරයා කියා සිටියේ.

ඉන්ධන මිල වැඩිකරන ලෙස මහබැංකුව මුදල් ඇමතිවරයාට දැනුම්දීමක් කර ඇතැයි ද කී ඇමතිවරයා පෙට්ට්‍රල් රුපියල් 35කින්, ඩීසල් 24කින් සහ භූමිතෙල් 11කින් වැඩි කර ඉල්ලුම පාලනය නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව ඔවුන් දැනුම් දී ඇතැයි ද සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්