මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. එලෙස මිල වැඩි නොකළහොත් එම බදුබර රටේ ඉන්ධන වැඩිවශයෙන් භාවිත නොකරන ජනතාව වෙත ද පැටවෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

” අපි අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමුවේ මැයි මාසයේ පැවති ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පදනම් කරගෙන. එතකොට ඉන්ධන බැරලයක මිල තිබුනේ අමෙරිකානු ඩොලර් 68ක්. නොවැම්බර් මාසය වෙද්දී ඉන්ධන බැරලයක මිල ඩොලර් 85ක් වෙලා තියෙනවා. එහෙම බලද්දී ලෝක වෙළෙඳපොලේ සියයට 24ක ඉන්ධන මිල වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා. මේ මිල වැඩිවීම ජනතාව මත පැටෙව්වේ නැති වෙනවා සමස්ත ජනතාවටම බදු බර පැටවෙනවා.

කොළඹ ඉන්න සුපිරි පැලැන්තියේ සමහර උදවිය පාවිච්චි කරන වාහන ඉන්ධන ලීටරයකින් දුවන්නේ කිලෝමීටර් 2-3ක් වගේ දුරක්. ඉතින් මේ වගේ අයට අඩු මුදලට ඉන්ධන දෙන්න ලංකාවේ ඈත ගමක ජිවිතේට වාහනයක් පාවිච්චි නොකරන කිලෝමීටර් ගානක් පයින් යන පුද්ගලයෙක්ට ඔහු කඩෙන් ගන්න භාණ්ඩයකින් අර ඉන්ධන නිසා සිදුවන පාඩුව මකන්න ගහන බද්දට දායක වෙන්න වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ ඉන්ධන මිල වැඩිකරන්න ඕන කියලා.

මේ වෙනකම් අපිට ඉන්ධන මිල වැඩි කරන්න තීරණයක් අරන් නැහැ, ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් අපිට සහනයක් ලැබිලත් නැහැ” අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියා.

 

මෙන්න බලන්න තවත් පුවත්