වන්ධ්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා.

එහි ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව ඔහු තවමත් අනිවාර්ය නිවාඩු යැවූ අයෙකු බවයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ යෝජනාව අනුව 2019 වසරේ මැයි මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්  අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇත්තේ ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ විස්ස – දෙක වගන්තියේ විධිවිධාන අනුවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මණ්ඩලයක් පත් කර චෝදනා පත්‍රයක් සකස් කර හැකි ඉක්මණින් එවන ලෙස දැනුම් දුන්නද සෞඛ්‍ය ලේකම්වරයා විසින් අදාළ වාර්තාව මෙතෙක් තමන්ට යොමුකර නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින කෙනෙකුට වැටුප් ගෙවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, වැටුප් ගෙවීම සිදුකළ ද නැවතත් ඔහු සේවයේ පිහිටුවිමට තම කමිටුව කිසිදු අවස්ථාවක නිර්දේශ කර නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අනිවාර්ය නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ වගන්ති වලට අනුව වෛද්‍ය සාෆිට අනිවාර්ය නිවාඩු ගැන්වූ කාලය සඳහා වැටුප් ගෙවිය යුතු බැවින් ඒවා ගෙවන ලෙස පමණක් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

නැවත සේවයේ පිහිටුවීමට උපදෙස් ලබාදීමක් හෝ සේවයේ පිහිටුවීමක් සිදුකර නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වුණා.

මෙන්න බලන්න තවත් පුවත්