ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වසරක කාලයක් සඳහා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැළකුණු මහේල ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ලොව ක්‍රිකට් ලීග ගණනාවක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ඉටු කළ කාර්ය භාරය ලොව ක්‍රිකට් කණ්ඩායම් සහ පාළනාධිකාරි අතර දැඩි ලෙස කතාබහට ලක්වුනා.

එමෙන්ම එම තරගාවලිය තුළ දී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අඛණ්ඩව ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලානය ජයග්‍රහණය කරවීම සඳහා මහේල මනා පිටුවහලක් වූ බව එම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් අවිවාදයෙන් පිළිගත් කරුණක්.

මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන කාලය ඇතුළත මහේල සිය ජාතික කණ්ඩායමට එක්කර ගැනීමට ලොව ප්‍රබල රටවල් කිහිපයක් උත්සාහ දැරුවා. නමුත් මහේලගෙන් එම ආරාධනාවන්ට යහපත් ප්‍රතිචාරයක් හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත් මෙවර අරවින්ද ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ ඉල්ලීම මත මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වසරක කාලයක් කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා සිටියේ මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙලෙස එක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රගමනයට අතිශය සාධනීය කරුණුක් බවයි.  මහේල ජයවර්ධන නව වගේ වගකීම් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකත්වය ට අමතරව වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකත්වය ලැබී තිබෙනවා.  එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අධිතාක්ෂණ පුහුණු ඒකකයේ ඉදිරි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමටත් නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්