ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියා කලාපය ආණ්ඩුවේ ඉහළ පුටුවල සහ මැති ඇමතිවරුන්ගේ දැඩි විවේචනයට ලක් වීමයි.

පසුගිය සමයේ කැබිනට් මණ්ඩලයේ මැති ඇමැතිවරුන් කිහිප පලක් ම ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අවස්ථා ගණනාවක දී අදහස් පළ කර තිබුණා.

ඔවුන් බොහෝ දෙනෙක්ගේ චෝදනාව වන්නේ, රජය මෙලෙස අසීරු අඩියකට වැටීම ට ජනාධිපති ලේකම්වරයාගේ ඇතැම් තීන්දු තීරණ බරපතළ ලෙස හේතුකාරක වූ බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මන්දිරයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම හදිසියේ සිදු නො වන බවයි.

මේ වන විට ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර ව ගොස් ඇති නිසා එවැන්නක් ලහි ලහියේ සිදු නො වන බවටත් ඔහු කියා සිටියා.

මේ අතර ආචාර්‍ය පී බී ජයසුන්දර ඉල්ලා අස්වීමෙන් හිස් වන ජනාධිපති ලේකම් තනතුරු සඳහා මේ වන විට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ඩී.එම්.අනුර දිසානයක පත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

ඩී.එම්.අනුර දිසානායක ජනාධිපති වරයාගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂගේ සමීප හිතවතෙක්.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම ඉදිරියේ ජනාධිපති ලේකම් ආචාර්‍ය පී බී ජයසුන්දරට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

එහි දී අමාත්‍යවරයා චෝදනා කර ඇත්තේ, ආචාර්ය ජයසුන්දරගේ තීන්දු තීරණ හේතුවෙන් සිය රජය අමාරුවේ වැටුණු බවටයි.

මෙන්න බලන්න තවත් පුවත්