රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැප වන රජයේ වගකීමක් සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවිය madeinsrilanka.org ඊයේ නිල වශයෙන් ජනගත කෙරුණා. ඒ කර්මාන්ත ඇමති වීමල් විරවංශගේ ප්‍රධානත්වයෙන්. 

එම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා විසින් කියූ අපුරු කතාවයි මේ,

” මට මේ අවස්ථාවේ අපේ ලේකම්තුමා පැවසූ කතාවක් සිහියට එනවා. එයට පදනම් වෙන්නේ එතුමා ඊශ්‍රායලයට ගිය අවස්ථාවක එරට හමුදා ප්‍රධානියා අහපු ප්‍රශ්නයක්. එතුමා (විශ්‍රාමික ජනරාල් දයා රත්නායක) මෙරට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඊශ්‍රායලයට ගියාම එරට හමුදා ප්‍රධානියා අහනවා ‘ඔබ දන්නවාද අපට තර්ජනය තිබෙන්නේ මොන රටින් ද?’ කියා. එවිට ඔහු ටිකක් කල්පනා කරලා කියනවා ‘ඉරානය’ කියා.

නමුත් ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා හිනාවෙලා කියනවා ‘ඒකත් ප්‍රශ්නයක් තමයි, නමුත් එය කළමනාකරණය කරගත හැකියි’ කියා. තවදුරටත් කල්පනා කරලා දයා රත්නායක මැතිතුමා කියනවා ‘මට ඒක පැහැදිලි මදි’ කියා. එවිට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදාපතිවරයා කියනවා ‘අපට ලොකුම තර්ජනය තිබෙන්නේ ලංකාවෙන්’ කියා.

එවිට හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා අහනවා ‘ඇයි එහෙම කියන්නේ?’ කියා. ඊශ්‍රායලය ඔවුන්ගේ යුදමය නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝකය පුරා යවනවා. එහෙම යවන ලද සෑම රටක් වෙනුවෙන්ම පසු පහසුකම් සැපයීමේ ‘ඩෙස්ක් එකක්’ ඔවුන්ට තිබෙනවා. සෑම රටක් වෙනුවෙන්ම පසු සේවා සපයන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අනෙක් සෑම රටකටම පත්කොට තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුලයි. ඔවුනට ඒ රටවලට නිතර නිතර යන්න වෙනවා.

නමුත් ලංකාවට පත් කරලා තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුල නැහැ. ඔවුන් බලා හිටියාට යම් මෙවලමක් කැඩිලා ඔවුන්ට ලංකාවට එන්න කියනකම්,  එහෙම ආරාධනාවක් එන්නේ නැහැ. හේතුව තමයි, යමක් කැඩුණොත් අපේ අය හරි දක්ෂයි, මුල් නිෂ්පාදකයාගේ උදව්වකින් තොරව යථා තත්ත්වයට එය පත් කරගන්න, ඒ සඳහා ඕනෑ කරන හැකියාව අපේ තරුණ පරපුර තුළ ඕනෑවටත් වඩා තිබෙනවා.

මට මතකයි යුද්ධ කාලේ ඊශ්‍රායලයෙන් එවූ බර අවි තොගයකට බරපතළ හානි කරලා තිබුණා අතරමගදී. ඒවා හදන්න ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කර ගැනීමට වෙලාවක් තිබුණේ නැහැ. යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවක තිබුණේ. එදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඉතා කෙටි කාලයක් තුළ තිබුණාටත් වඩා හොඳට එම බර අවි තොගය හදලා යාපනය අර්ධද්වීපය බේරා ගැනීම සඳහා යැවීමට දායක වුණා.

ඒ අවි තොගය ඊශ්‍රායලයට යවා නැවත ගෙන්වා ගැනීමට සිදු වුණා නම්, ඒ නියමිත මොහොතේ ඒවා යොදා ගැනීමට නොහැකි වීමෙන් අපේ ඉතිහාස කතාවත් මීට වඩා වෙනස් වීමට තිබුණා. ඒ හැකියාව, දක්ෂතාව, නුවණ ජානවලින් එන මිනිස්සු ඉන්න රටක් මේක. මේ රට සමකය ආසන්නයේ ඇති, ගුරුත්වාකර්ෂණයට අඩුවෙන්ම ලක් වන රට. ඒ නිසා තමයි හොඳම තේ, රසම අන්නාසි, හොඳම කුරුඳු, හොඳම ගම්මිරිස් ආදී හොඳම දේ මේ රටේ තිබෙන්නේ. ඒවා සොබාදහම අපට දී තිබෙන වටිනාකම්. ඒ වගේම තමයි ඉතාම නුවණැති මිනිසුන් බිහි වීමට පුළුවන් පොළොවකයි අපි ජීවත් වෙන්නේ.

ඒ ජානමය උරුමය තිබෙන අපේ දරුවන්ට, ලෝක වෙළඳපොළ ජයගත හැකි නිෂ්පාදනයක් සමග ඉදිරියට යනවා, කියන එක මහ අමාරු දෙයක් නොවෙයි. ඒකට අවශ්‍ය තණතිල්ල, පිට්ටනිය නියමිත ආකාරයට සකසා දීම පමණයි අප කළ යුතුව තිබෙන්නේ. ‘මැච් එක ඔවුන් ගහනවා, ලකුණු රැස් කරනවා’ ඒ ගැන කිසිදු සැකයක් නැහැ. නිෂ්පාදකයාගේ ඒ මහා ලකුණු රැස්කිරීමේ ක්‍රියාන්විතයට අද මේ අපි ජනගත කළ, රාජ්‍ය මට්ටමින් පවත්වාගෙන යන එකම අන්තර්ජාල වෙළඳ ද්වාරය වන madeinsrilanka.org ඉතා විශාල පිටුවහලක් වේවා’යි මම ප්‍රාර්ථනා කරනවා.” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

 

මෙන්න බලන්න තවත් පුවත්