ජීවිත හා දේපළ හානි රැසක් සිදුකරමින් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑ ටොනේඩෝ තත්ත්වයන් පිළිබඳ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ටොනේඩෝ තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත් සියලුම ප්‍රදේශ යළි ගොඩනැගීමට රජය ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරන බවයි.

මේ අතර ටොනේඩෝ බලපෑමට ලක්වූ ප්‍රාන්තවලට ආපදා තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ප්‍රකාශනවලට ජනාධිපති බයිඩ්න් විසින් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජීවිතහානි සහ දේපළ හානි රැසක් වාර්තා වන කෙන්ටකි ප්‍රාන්තයට සහන සැලසීම සඳහා ජනාධිපති බයිඩ්න් විසින් කඩිනමින් අරමුදලක් ද නිකුත් කර ඇතැයි සඳහන්. ජනාධිපතිවරයා පැවසුවේ මෙම ටොනේඩෝ තත්ත්වයන් අමෙරිකාවට මෙතෙක් බලපෑ විශාලතම කුණාටු අතරට එක්වන බවයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් කඩාවැටුනු ගොඩනැගිලි සහ නිවෙස් තුළ සිටින පිරිස් සොයා ආරම්භ කළ ජීවිතාරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි. එම ප්‍රාන්තයෙන් පමණක් මේවනවිට පුද්ගල මරණ 70 ක් වාර්තා වනවා.

මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් මරණ සංඛ්‍යාව ද 100 ඉක්මවා වාර්තා විය හැකි බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.

ටොනේඩෝ තත්ත්වයන් හේතුවෙන් කෙන්ටකී ප්‍රාන්තයේ පිහිටි ඉටිපන්දම් නිෂ්පාදන කම්හලක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

එහි සුන්බුන් අතර තවත් බොහෝ පිරිසක් සිරවී සිටින බවටයි සහන කණ්ඩායම් සැක පළ කරන්නේ. සුන්බුන් අතර සිරවී සිටි 40 දෙනෙකු පමණ මේවනවිටත් මුදා ගෙන තිබෙනවා. කෙන්ටකී ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ එම කම්හල තුළ සිරවූ පිරිස් තවදුරටත් නිරුපද්‍රිතව සිටින්නේ නම් එය ආශ්චර්යයක් වනු ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්