ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් සිටි ඩිංගි යාත්‍රාවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු සහ දැරියක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ප්‍රංශයේ සිට ඉංග්‍රීසි ඕඩය හරහා එංගලන්තය දෙසට යාත්‍රා කරමින් තිබූ එම ඩිංගි යාත්‍රාවක් උතුරුදිග කැලායිස් වෙරළාසන්නයේදී එලෙස පෙරළී ඇති බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පැවසුවේ. එම අවස්ථාවේ යාත්‍රාවේ සංක්‍රමණිකයන් 34 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙය ඉංග්‍රීසී ඕඩයේ සිදුවූ දරුණුම අනතුර බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

විපතට පත් පිරිස සොයා සිදුකරන ප්‍රංශ-එංගලන්ත ඒකාබද්ධ මෙහෙයුම සඳහා යාත්‍රා 3ක් සහ හෙලිකොප්ටර් යානා 3ක් යොදවා ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කුඩා බෝට්ටු සහ ඩිංගි බෝට්ටු යොදාගනිමින් ඉංග්‍රීසි ඕඩය තරණය කොට එංගලන්තයට ඇතුළුවන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මේ වසර තුළ කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය ප්‍රංශයෙන් ඉල්ලීමක්ද කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්