ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (24) පැවසුවා.

කොවිඩ් වසංගතයත් සමග ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියළුම ක්ෂේත්‍ර පීඩනයකට ලක් ව සිටින බවත් එම පිඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මහ බැංකු ශ්‍රවණාගාරයේ දී අද පැවති විශේෂ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගේ ඉල්ලීමක් මත පැවති මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංචාරක, සිවිල් ගුවන් සේවා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකන් යන ආයතන මේ වන විට මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු වූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටීයේ.

සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට ලබා දී ඇති සහන දීර්ඝ කරන ලෙසත් , සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දි මහ බැංකු අධිපති හමුවේ පෙන්වා දුන්නා.

ඊට ප්‍රතිචාර දැක් වු මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවයි. අදාළ ණය හිමියන්ගේ ඉල්ලීමක් සහිත යෝජනාවලියක් අදාළ බැංකු වෙත ඉදිරිපත්කොට එය ලබා ගැනීමටත් එවැනි ණයහිමියන්ට අවශ්‍ය වුවහොත් මහ බැංකුව මගින් නිර්දේශයක් ලබාදීමටත් හැකියාව ඇතැයි ඔහු සදහන් කළේ.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන්ගේ වාහන ලීසිං සමාගම් විසින් අත්පත්කර ගැනීමේ සිදුවීම් , අදාළ ලීසිං සමාගම් ලීසිං සහනය ලබා දීමේ දි වාරිකයට තවත් මුදලක් එකතු කිරිමේ සිද්ධින් ගැන සංචාරක අමාත්‍යවරයා මහබැංකු අධිපතිට මෙහිදී කරුණු පැහැදිලි කළේ.

එහිදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලීසිං සමාගම් වලට වාහන අත්පත් කර ගැනීම නතර කරන ලෙස දැනුම් දී ඇති බවත් , ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැති බවයි.

ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරිවේ නිලධාරීන්ට දැනුම් දුන් මහඉැංකු අධිපතිවරයා එවැනි සිද්ධින් වලට සම්බන්ධ ලිසිං සමාගම් වලට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේ.

පසුගිය කාලය තුළ රුපියල් බිලියන 4,100 ක ණය සහන ලබා දී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා රුපියල් බිලියන 330 ක ණය පොළී අඩු කර ඇති බව ද කියා සිටියා.

පසුගිය දින 21 ක කාලය තුළ සංචාරකයන් 29,000 ක් මෙරටට පැමිණී බවත් මේ වසර අවසන් වන විට150,000ත් 180,000 ත් අතර සංචාරක පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වසර වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේ.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි නව සාමාන්‍යකරණය තත්ත්වය යටතේ ක්‍රියාත්මක නීතිරිති වලින් බාධා මතුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි මහතා කීවේය.ඒ පිළිබද ව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරැණු අතර මහ බැංකු අධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවයි.

 

මෙන්න බලන්න තවත් පුවත්