ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ඩොලර් හිඟය නිසා විදේශීය සමාගම් මෙරටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සීමා කර ඇති බැවින් ඉදිරියේදී රට තුළ ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් සහ ඒවායෙහි මිල ඉහළ යෑමක් සිදුවනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙසේ මෙරටට ආහාර ද්‍රව්‍ය සැපයීම සීමා කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ලබාමේදී ක්‍රමය යටතේ භාණ්ඩ සැපයීම සිදුවූව ද ශ්‍රී ලංකාවේ උග්‍ර ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තරය තුළ ප්‍රචාරය වීමත් සමග මෙරට බැංකු කෙරෙහි විදෙස් සමාගම්වල විශ්වාසය බිඳවැටී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එසේම මෙරට බැංකු වලින් ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000කට අධික ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව සිරවී පවතින බවත් එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ආනයන සඳහා අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හරහා ශ්‍රී ලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ ඒ මහතා එසේ ඩොලර් නොලැබුණහොත් රට තුළ ආහාර හිඟයක් ඇති වී මිල ද ඉහළ යෑම වළක්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් පැවසීය.

 

 

මෙන්න බලන්න තවත් පුවත්