රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ හැට දහසක් ( 140,60,000 ) ක් වටිනා දේශීය සහ විදේශීය මුදල් තොගයක් , නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පවසනවා.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු අද (23) අලුයම 02.55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 649 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ සිය අත් බෑගය තුළ ශ්‍රී ලංකා රුපියල් කෝටියක මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් විසි දහසක මුදලක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් සහ රේගු පාලන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්