කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට සිංගප්පූරුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියකින් තොරව රටවල් කිහිපයක සංචාරකයන්ට රටට ඇතුලුවීමේ අවස්ථාව ලබාදීමටයි සිංගප්පූරු රජය පියවර ගෙන ඇත්තේ.

ලබන 13 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති කැනඩා, ඩෙන්මාර්ක්, ප්‍රංශ, ඉතාලි, නෙදර්ලන්ත, ස්පාඤ්ඤ, ඇමරිකා සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සිංගප්පූරුවට ඇතුලුවීමට අවස්ථාව හිමිවනවා.

නොවැම්බර් මාසයේ සිට එන්නත්කරණයට ලක්වූ දකුණු කොරියානු ජාතිකයන්ට ද මෙම අවස්ථාව ලබාදීමටයි සිංගප්පූරුව තීරණය කර ඇත්තේ.

කොරෝනා වෛරසය සමග දිවි ගෙවීමට සහ රට ඉදිරියට ගෙන යාමට කාලය පැමිණ ඇතැයි එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් අනතුරුව එය මර්දනය කිරීම සඳහා දැඩි නීති මෙන්ම සංචරණ සීමා අනුගමනය කළ රටක් ලෙසටයි සිංගප්පූරුව සැලකෙන්නේ.

එරට කොරෝනා මරණ අනුපාතය ද පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් එම සංචරණ සීමා හමුවේ සිංගප්පූරුවේ සංචාරක මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට ද එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

එරට රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඩෙල්ටා වෛරසය ඉවත්ව යාමක් පෙන්නුම් නොකරන බවයි.

කෙසේවෙතත් එන්නත්කරණය, සමාජ දුරස්ථභාවය ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එය ඉදිරියට ජීවිත ගෙන යාමේදී වැදගත් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්