හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් අද අභියාචනාධිකරණය හමුවට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම ගොණු කර ඇත්තේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින්. 

මහ බැංකු බැදුම්කර වංචාවලට අදාළව නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාවලට අනුව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට  නීතිපතිවරයාට සහ පොලිස්පතිට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, පොලිස්පතිවරයා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා නම් කර තිබෙනවා.

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන 2017 ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව වෝහාරික විගණනයක් සිදු කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කරන ලෙසට එවකට ජනාධිපතිවරයාට නිර්දේශ කළ බවයි පෙත්සමේ දක්වා ඇත්තේ. එම වෝහාරික විගණන වාර්තාවට අනුව සමාලෝචන කාලයට අදාළව එනම් 2005 සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10 යි දශම 4 ත් 10 යි දශම 6 ත් අතර පාඩුවක් සිදු වී ඇති බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා. එම කාල සීමාවේදී මහ බැංකුවේ ප්‍රධානියා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කර ඇති බවයි පෙත්සමේ දක්වා ඇත්තේ.

හෙජින් ගණුදෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 200 කට වැඩි පාඩුවක් සිදු කිරීමට ද අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ වී ඇති බව එම පෙත්සමේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්