ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සඳහන් කරමින් හතලිස් හය එක යෝජනාව මඟින් පිහිටුවනු ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්වේච්ඡාවෙන් භාරගන්නා ලද ජාත්‍යන්තර බැදීම්වලට අනුකූලව මානව හිමිකම් කවුන්සිලය හා එක්සත් ජාතීන් විසින් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි විදේශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

පශ්චාත් ගැටුම් තත්ත්වයෙන් පසු යතා තත්ත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. බරපතල අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ  එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට ද පියවර ගැණුනා. ගැටුම්වලින් අනතුරුව බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය සහ නැවත පදිංචි කිරීමේ වැඩසටහන් ද සාර්ථකත්වය මඟින් ජාතික සංහිදියාව ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා රජය අති මහත් දායකත්වයක් ලබාදී ඇති බවයි විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

වර්තමාන කොවිඩ් 19 වසංගතයේ දැඩි අභියෝග යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයේ මූලික යුතුකමක් ලෙස සලකන බවද මහාචාර්ය ජී එල් පීරිස් සිය කතාවේදී සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිදියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ථ ප්‍රගතියක් ලබාගැනීම සඳහා කැපවී සිටින බවයි විදේශ අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ.

 

මෙන්න බලන්න තවත් පුවත්