සම්බාහන මධ්යස්ථානයක සේවය කළ කාන්තාවක පිළියන්දල කොළමුන්න ප්රදේශයේ කාමරයක දින දෙකක් තිස්සේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව ගල්කිස්ස කොට්ඨාසයේ මොරටුව පොලිසියේ විශේෂ රාජකාරියේ යෙදී සිටී කොස්තාපල්වරයෙකි.

ප්රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන ඇත. තුවාල ලද කාන්තාව රෝහල්ගත කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කොස්තාපල්වරයා අවිවාහක පුද්ගලයකු වන අතර ප’ හ ර කෑමට ලක්වූ කාන්තාව විවාහක තැනැත්තියක් බව පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා දැන හදුනාගැනීමෙන් අනතුරුව කොස්තාපල්වරයා කාමරයක් කුලියට ගෙන ඇය සමඟ පිළියන්දල ප්රදේශයේ වාසය කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකාර කොස්තාපල්වරයා එම කාන්තාවට දින දෙකක් තිස්සේ වැසිකිළියට හෝ යෑමට ඉඩ නොදී පහරදීම සිදුකර ඇති බවත් ඇයගේ නාසය මෙන්ම ශරීරයේ ස්ථාන කිහිපයක්ම තදබල ලෙස තුවාල සිදු වී ඇති බවත් පොලිසිය කියයි.

කොස්තාපල්වරයා මුදල් ඉල්ලා මෙම පහරදීම සිදුකර ඇති බවත් එලෙස ඔහු මුදල් ඉල්ලුවේ කිනම් කාරණයකටද යන්න වැඩිදුර සොයා බලන බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ගල්කිස්ස පතිරණ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති අශෝක විජේසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

කොළඹ – ජයසිංහ

මෙන්න බලන්න තවත් පුවත්