රිය අනතුරකින් අභාවප්රාප්ත වූ සම්මානනීය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් ප්රකාශ කළා.

ඇය අභාවප්රාප්ත වුණේ හැටන් කොළඔ ප්රධාන මාර්ගයේ ලිඳුල නගරය ආසන්නයේ දී ඊයේ (30) රාත්රියේ සිදුවූ අනතුරකිනුයි.

පොලිසිය පැවසුවේ ඇය ගමන් කළ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. කෙසේ නමුත් මෙම අනතුරින් රියදුරාට කිසිඳු අනතුරක් සිදුව නැහැ.

ප්රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය ඊයේ නුවරඑළිය ප්රදේශයේ ටෙලි නාට්ය රූගත කිරීමක් සඳහා එක්ව තිබුණා.

එම කටයුතුවලින් අනතුරුව ඇය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොත්මලා ඔය දෙසට වූ අඩි 200 ක් පමණ ප්රපාතයකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිට ඇත්තේ රියැදුරු සහ ඇය පමණයි.

සිද්ධියෙන් ඇයට බරපතළ තුවාල සිදුව තිබූ අතර ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඇය ලිඳුල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී ඇය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ලිඳුල පොලිසිය විසින් වෑන් රථයේ රියදුරු අ’ ත් අ ඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහු ලබන මස තුන් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කළ අතර දේහය පිළිබඳ පශ්චාත් ම රණ පරීක්ෂණ අද පස්වරුවේ සිදු කෙරුණේ නුවරඑළිය රෝහලේදීයි.

මියයන විට 75 වන වියේ පසුවූ හයිසින්ත් විජේරත්න මහත්මිය එක්දරු මවක්. 70 දශකයේ කලා ක්ෂේත්රයට පිවිසි ඇය සිනමාව, පුංචි තිරය, වේදිකාව ජයගත් නිර්මාණශීලී රංගන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකියි.

මෝදර ශාන්ත අන්තෝනි බාලිකා විද්යාලයෙන් මූලික අධ්යාපනය ලැබූ ඇය කුඩා කල බලාපොරොත්තු වී තිබුණේ හෙදියක් ලෙසින් රෝගීන් සුවපත් කිරීමටයි.

කෙසේ වෙතත් පෙම්බර මධූ චිත්රපටයෙන් සිනමා තිරය ජයගත් ඇය, සිංහබාහු, ඉන්දුට මල් මිටක්, ක්රිස්තු චරිතය මෙන්ම ජාත්යන්තර සම්මානයට පාත්ර වූ හෝ ගානා පොකුණ ආදී සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම පුංචි තිරය ඔස්සේ විවිධ චරිත රැසකින් ප්රේක්ෂක සිත් තුළ සදා අමරණීය රංගන ශිල්පිනියක් වන්නට ඇය වාසනාවන්ත වුණා.

බොහෝ ටෙලි වෘතාන්ත වල ඇය අම්මාගේ චරිතය මෙන්ම වලව්වේ හාමිනේගේ චරිතයත්, ආච්චිඅම්මාගේ චරිතයත් රඟපෑ අතර ආගම දහමට ලැදි ඇය රඟපෑ ඇතැම් චරිත වලින් සපුරාම වෙනස් මිනිස්කමින් පිරි රංගන ශිල්පිනියක් බව සැවොම දන්නා කරුණක්.

ම රණ පරීක්ෂණයෙන් අනතුරුව රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය කොළඹට රැගෙන ඒමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

මෙන්න බලන්න තවත් පුවත්