පාස්කු ප්‍ර හාරයට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව කිසිසේත්ම කටයුතු නොකරන බවත්, සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමේ කිසිදු ප්‍රමාදයක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මේ වනවිටත් නඩු පැවරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජුලි මාසය තුළදී තවත් සැකකරුවන් 42 කට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා තමා වෙත දැනුම් දී ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට අදාලව සැකකරුවන් 800 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. සහරාන් ඇතුළු පිරිසගේ අන්ත වාදී ඉගැන්වීම් සිදුකළ පන්තිවලට සහභාගි වූ පුද්ගලයන්, අන්ත වාදී පන්ති පැවැත්වීම සඳහා මුල්‍යමය ආධාර ඇතුළු වෙනත් ආධාර උපකාර ලබාදුන් පුද්ගලයන්, අන්තර්ජාලය භාවිතා කරමින් අන්ත වාදී අදහස් ප්‍රචාරය කළ පුද්ගලයන් මේ අතර සිටින බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ. විදෙස් රටවල සිට ආධාර අනුබල ලබාදුන් පිරිසක්ද මේ අතර වන බව අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්