වියත්මග ඇතුළු රටේ විවිධ ආයතන පාලනය කිරීම සඳහා විශේෂ කමිටුවක් මගින් තෝරා පත්කළ වෘත්තිකයින්ට එරෙහිව ඇතැම් අවස්ථාවලදී චෝදනා එල්ල කිරීමට ඇතැමුන් ක්‍රියා කරමින් සිටින බවත් එම තනතුරු දරනු ලබන පුද්ගලයින් මාරු කිරීමට ගිය විට එම නිලධාරීන් අවංක, දක්ෂ සහ කර්යශුර නිලධාරීන් බව සඳහන් කරමින් තමන්ට ලිපි සහ පණිවිඩ එවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වව්නියාවේ, බෝගස්වත්ත මහා විද්‍යාලයේ පැවති ” ගම සමග පිළිසඳරක්” 17 වැඩසටහන සමග එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ විට තමන්ට සහ රජයට එරෙහිව සංවිධානාත්මකව දුර්මත ප්‍රචාරයක් රැගෙන යමින් තිබෙන බවත් යුද්ධයෙන් පසුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිවද එවැනි දුර්මත ප්‍රචාරය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. පරිසරය විනාශයක් සිදුවෙමින් පවතින බව කියමින් බොහෝ පරිසරවේදීන් මෙන්ම මාධ්‍යත් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවයි ජනධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

” ඔන්න සුදු වෑන් එනවා, මිනිස්සු උස්සනවා, කිඹුලන්ට කන්න දානවා, නැත්නම් මාගේ මාළු ටැංකියට දානවා කියලා ප්‍රචාර යැව්වා. දැන් සුදු වෑන් නැහැ, කිඹුල්ලු නැහැ, මොරුත් නැහැ. ඒ වෙනුවට අල්ලා ගත්තා පරිසරය ගැන. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී කොන්ක්‍රීට් පුරයක් වෙලා තිබ්බ කොළඹ නගරය හරිත නගරයක් බවට පත් කරන්න මම කටයුතු කළා. විශේෂයෙන්ම පහත්බිම් සංවර්ධනය කරන්න සහ ඒවා ආරක්ෂා කරන්න මම කැපවුණා. පසුගිය අවුරුදු පහ තුලදී ඒවා සියල්ලම විනාශ කළා. නමුත් දැන් ඉන්න කිසිම පරිසරවේදියෙක් ඒ ගැන කතා කරන්න හිටියේ නැහැ ” යැයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විවිධ ව්‍යාපාරිකයින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් ඇතුළු භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් යුක්ත ඒවාද කියා සොයා බැලීමට මෙරට ආයතන ඇති බවත් ඒවා සොයා බැලීමෙන් පසුව රජයට චෝදනා කරනවා බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙරට ජල මුලාශ්‍ර වලට සෘජු තර්ජනයක් වූ කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කළ බවද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කර සිටියා.

 

 

මෙන්න බලන්න තවත් පුවත්