මුන්දලම පොලිසියේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සේවය අත්හිටුවනු ලැබ ඇත්තේ මුන්දලම පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් වරයකුගේයි.

උසස් පොලිස් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව වේග මාපක උපකරණ භාවිත නොකරන ලෙස පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා පුත්තලම කොට්ඨාසයේ නිලධාරීන්ට නියෝග නිකුත් කර තිබෙනවා.

එම නියෝගය නොතකමින් මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු 30 වැනිදා අලුයම වේග මාපක යන්ත්‍රය රැගෙන ගොස් ඇත.

එම නිලධාරීන් දෙදෙනා පුත්තලම – හලාවත මාර්ගයේ රැඳී සිටිමින් වේග මාපක යන්ත්‍රය ක්‍රියත්මක කර ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවත්වා තිබෙනවා.

එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයායි.

තම නියෝග නොතකමින් වේග මාපක යන්ත්‍රය පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් එය ක්‍රියාත්මක කළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමටද කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙන්න බලන්න තවත් පුවත්