බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මේ අවස්ථාවේදී අප රටට ඇතුළු වීමට ඇති සියලු ම ඉඩකඩ ඇහිරිය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“ශ්‍රී ලංකාවට මහා බ්‍රිතාන්‍යයේ සිටත් යුරෝපයේ සිටත් සංචාරකයන් පැමිණෙනවා. යම්කිසි ආකාරයකින් මෙම වෛරසය අප රටට ඇතුළු වුවහොත් විශාල ප්‍රමාණයකින් රෝගීන් වාර්තා විය හැකියි.”

මෙසේ රෝගීන් වැඩිවුවහොත් රෝගීන් සඳහා ඇඳන් සෙවීම හා දැඩිසත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර විය හැකි බවත් ඔහු අවධාරණය කරනවා.

මෙම වෛරස ප්‍රභේදය වේගයෙන් පැතිරීම නිසා විශාල පිරිසකට බෝවිය හැකි බවත් ඒ අනුව සංඛ්‍යාත්මකව විශාල පිරිසක් මිය යා හැකි බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරනය කරනවා.

මේ හේතුවෙන් විශේෂයෙන්ම බටහිර ඇතැම් රටවල් මේ අවස්ථාව වන විටත් මහා බ්‍රිතාන්‍යයට සංචරණ සීමා පනවා ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙරට සෞඛ්‍ය අංශ මේ පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් පසුවන බව ද ඔහු පවසනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ, විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් මගින් මෙම වෛරසය රටට ඇතුළු වීමට හැකියාවක් පවතින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්