උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

එසේම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමගි ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා මහජනතාව අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ අනාවැකිය…

වැසි තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසිද ඇතිවිය හැකියි.

සුළඟ

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වේ. කොළඹ සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-6-ක් දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

මුහුදේ ස්වභාවය

කොළඹ සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ මද රළු ස්වභාවයේ පවතී.

මෙන්න බලන්න තවත් පුවත්