බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  කොළඹ පැවති මාධ්‍ය හමුවකට අද (21) එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් දැනට විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කිරීමට පුළුවන්ක තත්ත්වයක් නැහැ. 

ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කර තිබෙන පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් දැනට විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ නෑ.

මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා… සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සහයක් ගන්නවා.

මේ වසරේ නොවැම්බර් 23 වන දා සෙසු ප්‍රදේශවල පාසල් වන 6 – 11 ශ්‍රේණි අපි විවෘත කළා. ඒ පාසල්වල ප්‍රාථමික පන්ති ඒ කියන්නේ 1 – 5 දක්වා 2021 ජනවාරි 11 වන දා විවෘත කිරීම තීරණය කළා.

බස්නාහිර පළාත හා හුදකලා කර ඇති පොලිස් වසම්තුළ පිහිටලා තියෙන පාසල් හැරෙන්න අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ද ජනවාරි 11 විවෘත කරන්න අපි තීරණය කරලා තියෙනවා. “

මෙන්න බලන්න තවත් පුවත්