දිවයිනේ ප්‍රදේශයන් තුනකදී සිදු වූ රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (14) සවස 3.15ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.

යටවත්ත, තල්ගොඩපිටිය, ගොලහැන්වත්ත මාර්ගයේ වල්පොල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබී පැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා යටවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව තුවාලකරුවන් මාතලේ රෝහලට මාරකර යවා ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 59ක් පමණ වූ උඩහේන, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මෘත දේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යටවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර මාතර – ඌරුබොක්ක මාර්ගයේ 39 වැනි කණුව ආසන්නයේදී කාන්තාවක් අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ ඌරුබොක්ක දෙසට ධාවනය වූ ලංගම බස් රථයක සිටි කාන්තාවක් බස් රථය නතර කිරීමට පෙර බස් රථයෙන් බැසීමට යාමේදී බස් රථයෙන් වැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ඌරුබොක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාතර රෝහලට මාරුකර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තුත්තිරිපිටිය හේන, බෙංගමුව ප්‍රදේශයේ වයස අවුරුදු 55ක කාන්තාවකි.

මෘත දේහය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රොටුඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර කොක්කඩිචෝලය, අම්බලන්තුරේ වෙල්ලාවලි මාර්ගයේ කිලෝමීටර් 01 කණුව ආසන්නයේදී අම්බලන්තුරේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන්ඉවතට පැන විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පාලවොඩේ, මන්ඩූර් හි පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු අනතුරෙන් මියගොස් ඇති අතර මෘත දේහය මඩකලපුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කොක්කඩිචෝලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්