නැගෙනහිර කොළඹ(මුල්ලේරියාව) මූලික රෝහලේ ස්ථාපිත අණුක ජීව රසායනාගාරයේ දිනකදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාතරන් මහතා පවසනවා.

කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා දිනකට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 2000 දක්වා ඉහළ නැංවීමත් සමගින් වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන රසායනාගාරය බවට තම රෝහලේ රසායනාගාරය පත් වනු ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ලබන මස සිට පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවන බවත් දැනට දිනකදී පරීක්ෂණ 1400ත් 1500ත් අතර සංඛ්‍යාවක් සිදු කරන බවත්ය.

පසුගිය ජූලි මස 20 වන දින රෝහල තුළ මෙම රසායනාගාරය ආරම්භ කළ බවත් එදින සිට මේ දක්වා මාස හතරක් වැනි කාලයක් තුළදී පී.සී.ආර්. පරීක්ෂණ 39,000ක් පමණ සිදු කර ඇති බවත්  පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම රසායනාගාරය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විසි දෙනෙක් පමණක සේවය කරන බවත් හෙතෙම කියා සිටියා.

රට පුරා ක්‍රියාත්මක අණුක ජීව රසායනාගාර 26ක් තුළදී අද(13) උදෑසන 10 වන විට සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 636,586ක් වනවා.

මෙන්න බලන්න තවත් පුවත්