මෙරට ගංගා පද්ධතිය අතුරින් කළු ගඟට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී පාද රක්ෂිත කලාපයෙන් ආරම්භ වන කළු ගඟ දිගින් කිලෝමීටර් 129 කි. කළුතර නගරය අසලින් මුහුදට වැටෙන කළු ගඟ වඩා සුවිශේෂී වීමට හේතුවී තිබෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවම දියුණු කළ හැකි දකුණු ආසියාවේ විශාලතම මැණික් සංචිතය මේ ගඟ ආශ්‍රිතව තිබෙන නිසාය.

නමුත් අද වෙද්දී මේ දැවැන්ත මැණික් සංචිතය සිය බූදලයක් කරගන්නට වර්තමාන රජයේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙකු කටයුතු කරමින් සිටිති. කළු ගඟේ පරිසර පද්ධතියට දැවැන්ත හානියක් සිදු කරමින්, අධි බලැති යන්ත්‍රෝපකරණ යොදාගෙන මේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ හෙංචයියන් හොර රහසේ කළු ගඟ විනාශ කරන්නේ ප්‍රදේශය භාර ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ රැකවල් මැද්දේය.

කිරිඇල්ල, හැරනියාවක ප්‍රදේශයෙන් කළු ගඟ හීන් සැරේ ගලා යද්දී ගලතුරු ගඟ නමැති අතු ගංගාව එකතුවෙයි. කළු ගඟට ගලතුරු ගඟ එකතුවන මෝය කට පිහිටා තිබෙන ස්ථානය ඉතා ගැඹුරුය. මේ ප්‍රදේශයේ මැණික් ව්‍යාප්තිය කොතරම්දැයි කිවහොත් මෝය කට ආශ්‍රිත ගොඩ ඉඩම්වල පතල් කපා තට්ටු හතළිස් ගණන් යද්දී ඉල්ලම් හමුවීම සුලබ කාරණයකි. මේ සියලු ඉල්ලම් දිව යන්නේ කළු ගංගාව දෙසටය. මෝය කට ආසන්නයේ විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවීම නිසා ප්‍රදේශවාසීන් මේ ස්ථානය හඳුන්වනු ලබන්නේ “නිධානය”යන නාමයෙනි. ඒ නිසා මෝය කට ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ද හොර රහසේ මැණික් ඉල්ලම් සෙවීමට පුරුදුවී සිටිති.

නිධානය නමින් හඳුන්වනු ලබන ස්ථානයේ භූ ගෝලීය පිහිටීම අනුව ඒ ආශ්‍රිතව මැණික් බහුලව පිහිටා ඇති බවට පරිසරවේදීහු පවසති. මෙම ස්ථානයේ සිට කළු ගඟේ කිලෝමීටර් කීපයක් යනතුරුම මැණික් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසන්නේ සිය අත්දැකීමෙනි. ඒ අනුව ගත් කල දකුණු ආසියාවේ විශාලතම මැණික් සංචිතය පිහිටා ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිතවය.

මෙම ස්ථානය මීට වසර කීපයකට පෙරදී කොටස් කර වෙන්දේසී කිරීමට සැලසුම් කළද පරිසරවේදීන් ඊට දැඩි විරෝධයක් දැක්වීම නිසා එම සැලසුම ලත් තැනම ලොප් විය. අනතුරුව විශේෂ කාර්ය බළකායට කළු ගඟේ නිධානය ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂා කිරීමේ කටයුතු පැවරුණි. දිගින් දිගටම හොරෙන් මැණික් ගැරීමේ කටයුතු වළැක්වීමට විශේෂ කාර්ය බළකාය කටයුතු කරමින් සිටී.

නමුත්,හොර රහසේ මැණික් ගැරීමේ කටයුතු දිනෙන් දින වැඩිවී තිබේ. පායන කාලයේදී ප්‍රදේශයේ ඇතැමුන් හොර රහසේ නිධානය නමැති ස්ථානයට පැමිණ ගඟේ වැලි අදින්නේ හතර පස්දෙනා එකතුවීමෙනි. උදැල්ලකට අඩි පනහක් හැටක් පමණ දිගැති රිටි සකස් කරගෙන කීප දෙනෙකු එකතුවී ගඟ හාරති. මෙලෙස හාරන ලද වළවල් වැසි කාලයේදී වැල්ලෙන් පිරී යන්නේය.

නමුත්, අද වන විට තත්ත්වය ඊටත් වඩා බරපතළ වී තිබේ. අද මැණික් සෙවීමේ කටයුතු සිදු කෙරෙන්නේ ෂකර් ආදී අධි බලැති යන්ත්‍රෝපකරණ යොදා ගනිමිනි. ආරක්ෂක අංශ වලට කොටු නොවීම සඳහා මතුපිටට ජල බුබුළු මතු නොවන උපකරණ සහිත ඇඳුම් ඇඳගෙන දියයටින් ගොස් මැණික් ඉල්ලම් සෙවීමට පවා ඇතැමුන් කටයුතු කරති. මේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ පූර්ණ ආරක්ෂාව මැදය. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ බලධාරීන්ද නිරන්තරයෙන් සහාය දක්වන බව පැවසේ.

මෙලෙස මැණික් ඉල්ලම් සෙවීම සඳහා ෂකර් වැනි යන්ත්‍ර යොදා ගැනීම නිසා, මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ කලවාන ආසන වෙන් කෙරෙන පාලමද අවදානමකට ලක්ව ඇත. කළු ගඟේ නිධානය නමැති ස්ථානයට මීටර් 750 ක් පමණ පහළින් මෙම පාලම පිහිටා ඇත්තේය. ෂකර් වලින් නිකුත් වන අධි පීඩනය නිසා මෙම පාලමේ කණු ගිලා බැස කොයි මොහොතක හෝ කඩා වැටී විශාල හානියක් සිදුවීමේ අවදානම් තත්ත්වයක්ද පවතී. දේශපාලඥනයන්ගේ හෙංචයියන්ට අවශ්‍ය වී ඇත්තේ ප්‍රදේශයේ ජනතාව බිල්ලටදී හෝ මැණික් සම්පත දේශපාලනඥයන් අතට පත්කිරීමටය.

කෙසේ නමුත්,මෙලෙස මහා පරිමාණයෙන් මැණික් ගැරීම නිසා කළු ගඟට දැඩි හානියක් සිදුවී ඇති බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ බලධාරීන්ද පිළිගෙන තිබේ. මෙම දැවැන්ත පරිසර හානිය පිළිබඳව මුල් වරට දිනපතා අරුණ පුවත්පත ඉකුත් 03 වැනිදා අනාවරණය කළේය.

ඉකුත් සතියේ දිනක ඉහතකී දේශපාලනඥයන්ගේ ගෝල බාලයන් කළු ගඟ ආශ්‍රිතව ෂකර් යන්ත්‍ර යොදාගෙන මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකරන ලදි. මෙහිදී ෂකර් යන්ත්‍ර සහ තවත් උපකරණ කීපයක් තම භාරයට ගැනීමට ඔවුන් කටයුතු කරන ලදි. මෙම වැටලීමෙන් අනතුරුව දේශපාලනඥයෙකු දිගින් දිගටම විශේෂ කාර්ය බළකායට බලපෑම් කර සිටියේ මෙම ස්ථානයේ වැටලීම් නොකරන ලෙසය. මොන බලපෑම් එල්ල වූවත් අනවසර මැණික් ජාවාරම නතර කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය කටයුතු කරමින් සිටී.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විශේෂ කාර්ය බළකායට නියෝග කර ඇත්තේ දේශපාලන බලය යොදා මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ කටයුතු වහා වැළැක්වීමට පියවර ගන්නා ලෙසය.

කිරිඇල්ල,හැරනියාවක ප්‍රදේශයේ සිදුවන අනවසර පතල් හෑරීම නතර කිරීම සඳහා එම කොටස මැනුම්ගත කර නීත්‍යනුකූලව මැණික් ගැරීම සඳහා අවසරය ලබා දීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වෙද්දී තීරණය කර ඇත. නමුත් ගැටලුව වන්නේ වෙන්දේසියේදී මැණික් ඉල්ලම් හෑරීමේ කටයුතු යළි භාර ගන්නේ ඉහතකී දේශපාලනඥයන් විසින්ම වන නිසාවෙනි.

මෙම ස්ථානය රජය විසින්ම මැණික් ගැරීමේ කටයුතු සිදුකර මැණික් වලින් ලැබෙන ආදායම රජය යටතටම ලබා ගැනීමේ හැකියාව පවතී. මේ පිළිබඳව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඉලුක්පිටියගෙන් විමසීමේදී කියා සිටියේ ඒ සඳහා මැණික් හා ස්වර්ණාභරණ පනතින් අවස්ථාවක් සලසා නොමැති බවය. කෙසේ නමුත්,හෙට අනිද්දා කළු ගඟේ නිධානය වෙන්දේසියකින් ජාවාරම්කරුවන් අතට පත්වන බව නම් නිසැකය.

සාලිය කුමාර ගුණසේකර

මෙන්න බලන්න තවත් පුවත්