ශ්‍රී ලංකාවේ පළමු LNG(ද්‍රවීකෘත ස්වාභාවික වායු) විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම එළිය කරමින් තිරසාර ගෝලීය සංවර්ධන අරමුණුවලට අනුගතව ඵලදායී සහ ලාභදායී විදුලිබල ජනනයකින් රටම බලගැන්වීම විදුලිබල අමාත්‍යංශයේ අරමුණය බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ.

එසේම මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ පළමු LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බවයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ.

අදාළ ඉදිකිරීම් මෙම මස අග භාගයේදී ආරම්භ කිරීමට නියමිතයි.

සෞභාග්‍යයේ දැක්මට අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පිවිතුරු හා පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ඉලක්ක කර ගනිමින් මෙවැනි විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍යංශයේ අවධානය යොමු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනයෙන් 35%ක් පමණ සැපයෙන්නේ ඩීසල් බලාගාරවලින් වනඅ තර එයින් නිපදවෙන ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් තරම් අධික වන බවත් LNG විදුලි බලාගාර මගින් එය රුපියල් 15 දක්වා අඩු කර ගත හැකි බවත් පැවසෙනවා.
වසර 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියේ ඩීසල් ජනන දායකත්වය 5% දක්වා අඩු කර ගනිමින් විදුලි පාරිභෝගිකයන්ට අඩු මිල සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපයීම තම අමාත්‍යංශයේ ඉලක්කය බවද විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්