ආණමඩුව නගරයේ ඊයේ(04) රාත්‍රී 11.45ට පමණ සිදු වූ රිය අනතුරකින් ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල් ගත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ උපපොලිස් පරීක්ෂක අජිත් හේමන්ත නමැති නිකවැරටිය ඉහළගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග යන අය ප්‍රතිකාර සඳහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ(04) රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිටි ඇති අතර කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලිසියට ලැබී තිබෙනවා.

ඒ වන විටත් පොලිස් ජංගම රථය වෙනත් රාජකාරියක් සඳහා පිටත්ව ගොස් තිබී ඇති අතර එම හේතුවෙන් තම පෞද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මරණයට පත්ව ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබෙනවා.

ඉදිරියට පැමිණෙමින් තිබූ සැක සහිත ලොරි රථය පසුපස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහුබැද ඇති අතර අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථය ලිස්සා ගොස් නගරයේ තිබූ ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය පළාගොස් ඇති අතර අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි පවසන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්