ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුුරුදු 79ක් වූ කාන්තා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ කාන්තාව සිය නිවසේදීම ඊයේ(03) මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් 19 ආසාදිත අයෙකු බවට අද දිනයේදී හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම කාන්තාව මාසයකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසුව ඇති බවත් නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ කාන්තාව මියයාමට ආසන්නතම හේතුව කොවිඩ් 19 ආසාදිනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වීය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 24 වන කොවිඩ් 19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබෙනවා.

මේ අතර කොළඹ 13 ප්‍රදේශයේම 78 හැවිරිදි පිරිමි පුද්ගලයකුද සිය නිවසේදී සිදු වූ ඇද වැටීමකින් හිසට සිදු වී ඇති බරපතල හානි සහිතව පසුගිය දෙවනදා රෝහල වෙත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහු ඊයේ(03) දිනයේ මියගොස් ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ අද දිනයේ සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුටද කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වුවද මියයාමට බලපෑ ආසන්නතම හේතුව අනුව මෙම මරණය කොවිඩි 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස නොසලකන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

මෙන්න බලන්න තවත් පුවත්