ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙක් ඇතුළු විසි දෙදෙනෙක් ඉන් මියගොස් ඇති බවත් තවත් පුද්ගලයන් 22 දෙනෙක් තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.

කාබුල් අගනුවර බස්නාහිර ප්‍රදේශයේ පිහිටි කාබුල් විශ්වවිද්‍යාලයට ඊයේ (02) ප්‍රහාරය එල්ල වූ බවයි ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේ.

කාබුල් විශ්වවිද්‍යාලයේ ‍නැගෙනහිර දොරටුව ආශ්‍රිතව බෝම්බ පුපුරා හැර ආයුධ සන්නද්ධ කල්ලියක් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ බවද ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අනතුරුව එහි පැමිණි එරට ආරක්ෂක හමුදාව හා සන්නද්ධ කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් හට ගෙන තිබෙනවා.

පසුගිය සති දෙක තුළ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ අධ්‍යාපන ආයතනයකට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙයයි.

අදාළ ප්‍රහාරයේ වගකීම මේ වන විට ISIL නමැති සංවිධානයක් විසින් භාරගෙන ඇති බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්